ආබාධ සහිත සර­සවි සිසුන්ට මහ­පො­ළට අම­ත­රව තවත් රුපියල් 5000 දීම­නා­වක් ලබා දීමට රජය තීරණය කරයි

විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­පන වරම් ලබන ආබාධ සහිත සිසුන් සඳහා මහ­පොළ ශිෂ්‍යත්ව දීම­නා­වට අම­ත­රව රුපි­යල් 5,000ක දීම­නා­වක් ලබා දීමට රජය තීර­ණය කර තිබෙන බව පාර්ලි­මේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැව­සීය.

අදාළ දීම­නාව සඳහා මුදල් මෙවර අය­වැ­යෙන් වෙන් කර තිබෙන බවද ඒ මහතා කියා සිටි­යේය. පූර්ණ ලෙස දෘශ්‍යා­බා­ධි­තව සිටි­යදී උසස් පෙළ විභා­ග­යට පෙනී සිට A සමාර්ථ තුනක් සහි­තව මාතලේ දිස්ත්‍රි­ක්කයේ 31 වැනියා ලෙස සමත්ව විශ්ව­වි­ද්‍යාල වරම් ලද නිරෝ­ෂන් ධනං­ජය සඳ­රු­වන් චන්ද්‍ර­සිරි තරු­ණ­යාගේ සුව­දුක් විම­සීම සඳහා මාතලේ පල්ලේ­පොළ අකු­ර­ම්බොඩ නිවෙ­සට ගිය අව­ස්ථාවේ මන්ත්‍රී­ව­රයා මේ බව කීය. ආබාධ සහිත පුද්ග­ල­යකු අධ්‍යා­පන කට­යුතු සිදු කරන්නේ සාමාන්‍ය පුද්ග­ල­ය­කුට වඩා විවිධ වූ දුෂ්ක­ර­තා­වන්ට මුහුණ දෙමින් බවත්, එවැනි අයකු විශ්ව­වි­ද්‍යාල වරම් ලද විට දිරි­ගැ­න්වීමේ අර­මුණ මෙම මුදල් වෙන් කිරීම තුළ තිබෙන බවත් ඒ මහතා කීය.

ආබාධ සහිත ශිෂ්‍ය­යකු හෝ ශිෂ්‍යා­වක වෙනු­වෙන් අධ්‍යා­ප­න­යේදී සාමාන්‍ය සිසු­ව­කුට වඩා වැඩි වැය බරක් දැරී­මට පවුලේ සාමා­ජි­ක­යන්ට සිදු­වන බවත්, ඉන් යම් ප්‍රමා­ණ­යක් හෝ නිද­හස් කිරී­මට මේ ඔස්සේ හැකි­යාව ලැබෙ­තැයි විශ්වාස කරන බවත් හෙතෙම පැව­සු­වේය.

උසස් පෙළ විභා­ගය සමත්ව විද්‍යා පීඨ­යට ඇතුළු වීමට සුදු­සු­කම් ලබා සිටි­යදී හිටි­හැ­ටියේ පූර්ණ අන්ධ­භා­ව­යට පත්වූ නිරෝ­ෂන් කිසිදු ගුරු­ව­ර­යකු හමු­වට නොගොස් ස්වෝත්සා­හ­යෙන් අධ්‍ය­යන කට­යුතු සිදු­කර මෙවර උසස් පෙළ විභා­ග­යෙන් A සාමාර්ථ 3ක් ලබා ගැනී­මට සමත් විය. නිරෝ­ෂන් ධනං­ජය සඳ­රු­වන් චන්ද්‍ර­සිරි නමැති මෙම තරු­ණයා 2018 වස­රේදී දෘශ්‍යා­බා­ධිත රෝග­ය­කට ගොදුරු වී තිබෙන අතර, එයට ප්‍රති­කාර ලබා ගනි­මින් සිටි­යදී 2024 දී පූර්ණ අන්ධ­භා­ව­යට පත්ව ඇත. රෝගී තත්ත්වය සුව­පත් කර ගැනීම සඳහා ප්‍රති­කාර ලබා ගැනී­මට යෑමේදී දිය­වැ­ඩි­යාව ඇතුළු තවත් රෝග ගණ­නා­ව­කට ගොදුරු වීම හේතු­වෙන් අධ්‍යා­පන කට­යුතු සියල්ල අත්හැර දමා සිටි නිරෝ­ෂන් පූර්ණ අන්ධ­භා­ව­යට පත්වී­මෙන් පසු උසස් පෙළ විභා­ග­යට යළි පෙනී සිටීම සඳහා සූදා­නම් වී තිබෙන්නේ මාස 9ක් වැනි කෙටි කාල­ය­ක­දීය. හොඳින් පෙනීම තිබි­යදී රෝගී තත්ත්ව­යක් හේතු­වෙන් පූර්ණ අන්ධ­භා­ව­යට පත් නිරෝ­ෂන් 29 වැනි වියේ සිටි­යදී 2025 වස­රේදී යළි අධ්‍යා­පන කට­යුතු ආරම්භ කර­න්නට තීර­ණය කර­මින් මාස 9ක් වැනි කෙටි කාල­ය­කදී උසස් පෙළ විභා­ග­යට පෙනී සිටි මෙවැනි විශිෂ්ට ප්‍රති­ඵ­ල­යක් ලබා ගැනීම රටක් ලෙස අප සියලු දෙනා අගය කළ යුතු ක්‍රියා­වක් බවත්, ඔහුගේ අව­ශ්‍යතා ඉටු කර දීමට රජය අවශ්‍ය පිය­වර ගන්නා බවත් ඒ මහතා අව­ධා­ර­ණය කළේය.

සිංහල, බෞද්ධ ශිෂ්ටා­චා­රය හා යුරෝපා ඉති­හා­සය විෂය සඳහා ඔහු විභා­ග­යට පෙනී සිට තිබෙන්නේ පිළි­තුරු පටි­ගත කිරීමේ ක්‍රම­වේ­දය ඔස්සේය. එහිදී ඔහු වෙනු­වෙන් විභාග ප්‍රශ්න පත්‍රය කිය­වී­මට හා පිළි­තුරු පටි­ගත කිරීම සඳහා දෙදෙ­නකු ලබා දීමට විභාග දෙපා­ර්ත­මේ­න්තුව පහ­සු­කම් සලසා තිබිණි. ආබාධ සහිත පුද්ග­ල­යන් සඳහා නිවාස සම්පා­ද­නය කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ආණ්ඩුව ක්‍රියා­වට නංවා තිබෙන බවත්, ඒ යටතේ නිවෙ­සක් අලු­ත්වැ­ඩියා කර ගැනී­මට රුපි­යල් ලක්ෂ 5ක උප­රි­ම­යක් ද අලු­තින්ම නිවෙ­සක් ඉදි­කර ගැනී­මට රුපි­යල් මිලි­ය­න­යක් ද ලබා­දෙන බවත් මන්ත්‍රී­ව­රයා කියා සිටි­යේය. ඊට අම­ත­රව ආබාධ සහිත පුද්ග­ල­යන්ට ගැළ­පෙන ලෙස වැසි­කි­ළි­යක් සකස් කර ගැනී­මට තවත් රුපි­යල් ලක්ෂ 1 1/2ක් ලබා­දෙන බවද ඒ මහතා කීය.

මෙම අව­ස්ථා­වට මාතලේ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී සුනිල් බිය­න්වල, පල්ලේ­පොළ ප්‍රාදේ­ශීය ලේකම් එච්.එම්. චාන්දනී ඒක­නා­යක යන මහත්ම මහ­ත්මීන් ඇතුළු පිරි­සක් සහ­භාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *