විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම් ලබන ආබාධ සහිත සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව දීමනාවට අමතරව රුපියල් 5,000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය.
අදාළ දීමනාව සඳහා මුදල් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙන බවද ඒ මහතා කියා සිටියේය. පූර්ණ ලෙස දෘශ්‍යාබාධිතව සිටියදී උසස් පෙළ විභාගයට පෙනී සිට A සමාර්ථ තුනක් සහිතව මාතලේ දිස්ත්‍රික්කයේ 31 වැනියා ලෙස සමත්ව විශ්වවිද්‍යාල වරම් ලද නිරෝෂන් ධනංජය සඳරුවන් චන්ද්‍රසිරි තරුණයාගේ සුවදුක් විමසීම සඳහා මාතලේ පල්ලේපොළ අකුරම්බොඩ නිවෙසට ගිය අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව කීය. ආබාධ සහිත පුද්ගලයකු අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ සාමාන්‍ය පුද්ගලයකුට වඩා විවිධ වූ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් බවත්, එවැනි අයකු විශ්වවිද්‍යාල වරම් ලද විට දිරිගැන්වීමේ අරමුණ මෙම මුදල් වෙන් කිරීම තුළ තිබෙන බවත් ඒ මහතා කීය.
ආබාධ සහිත ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක වෙනුවෙන් අධ්‍යාපනයේදී සාමාන්‍ය සිසුවකුට වඩා වැඩි වැය බරක් දැරීමට පවුලේ සාමාජිකයන්ට සිදුවන බවත්, ඉන් යම් ප්‍රමාණයක් හෝ නිදහස් කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙතැයි විශ්වාස කරන බවත් හෙතෙම පැවසුවේය.
උසස් පෙළ විභාගය සමත්ව විද්‍යා පීඨයට ඇතුළු වීමට සුදුසුකම් ලබා සිටියදී හිටිහැටියේ පූර්ණ අන්ධභාවයට පත්වූ නිරෝෂන් කිසිදු ගුරුවරයකු හමුවට නොගොස් ස්වෝත්සාහයෙන් අධ්‍යයන කටයුතු සිදුකර මෙවර උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් ලබා ගැනීමට සමත් විය. නිරෝෂන් ධනංජය සඳරුවන් චන්ද්‍රසිරි නමැති මෙම තරුණයා 2018 වසරේදී දෘශ්‍යාබාධිත රෝගයකට ගොදුරු වී තිබෙන අතර, එයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී 2024 දී පූර්ණ අන්ධභාවයට පත්ව ඇත. රෝගී තත්ත්වය සුවපත් කර ගැනීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යෑමේදී දියවැඩියාව ඇතුළු තවත් රෝග ගණනාවකට ගොදුරු වීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු සියල්ල අත්හැර දමා සිටි නිරෝෂන් පූර්ණ අන්ධභාවයට පත්වීමෙන් පසු උසස් පෙළ විභාගයට යළි පෙනී සිටීම සඳහා සූදානම් වී තිබෙන්නේ මාස 9ක් වැනි කෙටි කාලයකදීය. හොඳින් පෙනීම තිබියදී රෝගී තත්ත්වයක් හේතුවෙන් පූර්ණ අන්ධභාවයට පත් නිරෝෂන් 29 වැනි වියේ සිටියදී 2025 වසරේදී යළි අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නට තීරණය කරමින් මාස 9ක් වැනි කෙටි කාලයකදී උසස් පෙළ විභාගයට පෙනී සිටි මෙවැනි විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීම රටක් ලෙස අප සියලු දෙනා අගය කළ යුතු ක්‍රියාවක් බවත්, ඔහුගේ අවශ්‍යතා ඉටු කර දීමට රජය අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ මහතා අවධාරණය කළේය.
සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය හා යුරෝපා ඉතිහාසය විෂය සඳහා ඔහු විභාගයට පෙනී සිට තිබෙන්නේ පිළිතුරු පටිගත කිරීමේ ක්‍රමවේදය ඔස්සේය. එහිදී ඔහු වෙනුවෙන් විභාග ප්‍රශ්න පත්‍රය කියවීමට හා පිළිතුරු පටිගත කිරීම සඳහා දෙදෙනකු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව පහසුකම් සලසා තිබිණි. ආබාධ සහිත පුද්ගලයන් සඳහා නිවාස සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව ක්‍රියාවට නංවා තිබෙන බවත්, ඒ යටතේ නිවෙසක් අලුත්වැඩියා කර ගැනීමට රුපියල් ලක්ෂ 5ක උපරිමයක් ද අලුතින්ම නිවෙසක් ඉදිකර ගැනීමට රුපියල් මිලියනයක් ද ලබාදෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. ඊට අමතරව ආබාධ සහිත පුද්ගලයන්ට ගැළපෙන ලෙස වැසිකිළියක් සකස් කර ගැනීමට තවත් රුපියල් ලක්ෂ 1 1/2ක් ලබාදෙන බවද ඒ මහතා කීය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල, පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් එච්.එම්. චාන්දනී ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.