රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියත් එක්කරමින් ඉලක්කගත අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක විදේශීය ආයෝජන (Foreign Direct Investments) වඩාත් කාර්යක්ෂමව ආකර්ෂණය කරගැනීම සඳහා “Ready to Invest” නමින් ඩිජිටල් වේදිකාවක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගෙන තිබේ.
පරිපාලනමය ප්‍රමුඛතා සහ අනුමැතීන් ප්‍රමාදවීමේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුමක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය “Ready to Invest” ඩිජිටල් වෙළෙඳපොළ (Digital Marketplace) හඳුන්වා දී තිබෙන අතර පූර්ණ ශක්‍යතා අධ්‍යයනයන් (Feasibility Assessments) නිමකළ හා ඉඩම් වෙන්කර හඳුනාගත් ව්‍යාපෘති 30ක් මෙහි සෘජුවම ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයක් බව ද මේ හරහා අතරමැදි අදියර රැසක් මඟහැර, විනිවිදභාවයකින් යුතුව ආයෝජන සාකච්ඡා ක්ෂණිකව ආරම්භ කිරීමට විදේශීය සමාගම්වලට අවස්ථාව ලැබී තිබෙන බව ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාව තුළ වහාම ආරම්භ කිරීමට (Rapid engagement) සූදානම් කර ඇති, ඉහළ විභවතාවක් සහිත ව්‍යාපෘති ජාත්‍යන්තර ආයෝජකයන් වෙත සෘජුවම ප්‍රදර්ශනය කිරීම සහ ඒ ආශ්රිත සියලුම අනුමැතියන් ලබාගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙන අතර මෙම පද්ධතිය හරහා දැනටමත් මූලික සැලසුම් සකස් කර ඇති, වහාම ආයෝජනය කළහැකි විශේෂ ව්‍යාපෘති 30ක් පමණ ජාත්‍යන්තරයට විවෘත කර ඇත.
එම ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 8ක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර සංචාරක හා විනෝදාස්වාද ක්ෂේත්රය, නිෂ්පාදන ක්ෂේත්රය, ප්‍රවාහන හා සැපයුම් සේවා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂිකර්මාන්තය හා කෘෂි සැකසුම්කරණය, නාගරික සංවර්ධනය, ගුවන් සේවා හා සමුද්‍රීය යටිතල පහසුකම් සහ පුනර්ජනනීය බලශක්තිය ඒ අතර වන බව ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
මෙම ඩිජිටල් වේදිකාව හරහා විදේශීය ආයෝජකයකුට ශ්‍රී ලංකාවට නොපැමිණ වුවද තමන්ට අවශ්‍ය ආයෝජන කටයුතු රාශියක් අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගත හැකිවන අතර සෘජු අයදුම්පත් යොමු කිරීම, අනුමැතියන් නිරීක්ෂණය, ඩිජිටල් ගෙවීම්, ලේඛන පරිශීලනය ආදිය ඒ අතර වෙයි.
පාරදෘශ්‍යභාවය වැඩිවීම, කාලය ඉතිරි වීම සහ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් වීම මෙහි ඇති වාසියක් බව ද එම මණ්ඩලය පෙන්වා දෙයි.