අලුත් මහ මොලකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol,වලට දන්වන්න – දිලිත් ජයවීර

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

ස්වර්ණවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ දේශපාලන සංවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, එවැනි දැනුම් දීමකදී එම ජාත්‍යන්තර ආයතන ලබා දෙන ප්‍රතිචාර පිළිබඳව වර්තමාන ආණ්ඩුව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

මේ වන විටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුකාරයන් බවට පත්ව ඇති බවත්, සාමාන්‍ය බුද්ධියෙන් යුතුව මෙම කරුණු දෙස බැලිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජයවීර මහතා, මෙය “සාක්ෂි නිර්මාණය කිරීමේ” ක්‍රියාවලියක් බවට චෝදනා කළේය.

සලේ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මුල් ‘බී’ වාර්තාවේ අඩංගු නොවූ කරුණු, ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීම සැක සහිත බව ඔහු පෙන්වා දුන්නේය.

“FBI ආයතනය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් ඇතුළු සියලු විමර්ශන නිලධාරීන් නිසැකවම ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (ISIS) ශ්‍රී ලංකා ශාඛාව විසින් බවයි,” යැයි පැවසූ මන්ත්‍රීවරයා, ආණ්ඩුව පවසන පරිදි මෙරට බුද්ධි අංශවල සහයෝගයක් මීට ලැබුණේ නම් එම නව තොරතුරු ජාත්‍යන්තරයට හෙළි කළ යුතු බව සඳහන් කළේය.

තවද, අදාළ කාලවකවානුවේදී සුරේෂ් සලේ මහතා මෙරට සේවය නොකළ බවත්, එවැනි තත්ත්වයක් තුළ ඔහු හමුදා යාන්ත්‍රණය පාවිච්චි කර කුමන්ත්‍රණයක් කළේ යැයි පැවසීම තර්කානුකූල නොවන බවත් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *