2022දී බිඳ­වැ­ටී­මෙන් පසු ශ්‍රී ලංකා ආර්ථි­කය අඛ­ණ්ඩව කාර්තු 11ක වර්ධ­න­යක් වාර්තා කරයි

වසර 2022 දී ශ්‍රී ලංකා ආර්ථි­කය බිඳ වැටී මුහු­ණු­දුන් අවා­ස­නා­වන්ත තත්ත්ව­යෙන් මිදී 2023 දෙවැනි කාර්තුවේ සිට 2026 පළමු කාර්තුව දක්වා අඛ­ණ්ඩව කාර්තු 11ක් රටේ ආර්ථි­කය වර්ධ­නය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේ­ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදි­රි­සිංහ මහතා ප්‍රකාශ කළේය.

රටක් ලෙස අඛ­ණ්ඩව ආර්ථි­කය වර්ධ­නා­ත්මක මාව­ත­කට රැගෙන ඒම ලෙහෙසි පහසු කට­යු­ත්තක් නොවන බවත් එය නිවැ­රදි දිශා­න­ති­ය­කට තිර­සර ආර්ථික ප්‍රති­ප­ත්ති­යක් මත රට මෙහෙ­ය­වීමේ ප්‍රති­ඵ­ල­යක් බවත් ඔහු සඳ­හන් කළේය.

වසර 2023 පළමු කාර්තුව හා දෙවැනි කාර්තුව පිළි­වෙ­ළින් ඍණ 10.6ක් සහ ඍණ 2.2ක් ලෙස ආර්ථි­කය හැකි­ළිණි. ඉන්පසු 2023 තුන්වැනි කාර්තුවේ සිට ආර්ථික වර්ධ­නය ධන මට්ට­ම­කට ක්‍රමි­කව වර්ධ­නය වූ බව එදි­රි­සිංහ මහතා පැහැ­දිලි කළේය.

2023 තුන්වැනි කාර්තුවේ දී ධන 2.0ක් ලෙස ආර්ථි­කය වර්ධ­නය වූ අතර එය එම වසර අව­සන් කාර්තුවේ වාර්තා කළේ සිය­යට 4.3ක් ලෙසය. ඉන්පසු වසර 2024 දී කාර්තු හත­රම ආර්ථික වර්ධ­නය වූයේ පිළි­වෙ­ළින් සිය­යට 5.0, 4.0, 5.3 සහ 5.5ක් ලෙසය. වසර 2025 ශ්‍රී ලංකා ආර්ථි­කය සැල­කිය යුතු මට්ට­ම­කින් වර්ධ­නය වූ අතර පළමු කාර්තුවේ දී 4.7%ක ද, දෙවැනි කාර්තුවේ දී 5.0%ක ද, තුන්වැනි කාර්තුවේ දී 5.3%ක ද, අව­සන් කාර්තුවේ දී 4.8%ක ද ආර්ථික වර්ධ­න­යක් සිදු විය.

එම වසර අව­සා­නයේ රට මුහු­ණ­දුන් දිට්වා සුළි කුණා­ටුව ඇතුළු මේ වන විට මුහු­ණ­දෙ­මින් තිබෙන ලෝක යුද­මය තත්ත්වය සහ ඒ ආශ්‍රි­තව පැන නැඟී ඇති ඉන්ධන සහ බල­ශක්ති ගෑස් ඇතුළු විය­දම් ඉහළ යෑම නිසා ආර්ථික වර්ධ­නය මන්ද­ගාමී වනු ඇතැයි දැනට ගණන් බලා තිබේ. එවැනි පසු­බි­මක පවා මේ වසරේ මුල් කාර්තුවේ දී මෙරට ආර්ථි­කය 5.1%ක වර්ධ­න­යක් ළඟා කර තිබීම රටක් ලෙස සතුටු විය හැකි කරු­ණකි. මෙම වර්ධ­නයේ දී කෘෂි­කා­ර්මික අංශය 1.1%ක කර්මාන්ත අංශය 7.2%ක සහ සේවා අංශය 3.4%ක් ලෙස සෑම අංශ­ය­කින්ම වර්ධ­න­යක් සිදුවී තිබීම කැපී පෙනෙන ලකු­ණකි.

එක්සත් ජන­පද ඩොල­ර­යට සාපේ­ක්ෂව ශ්‍රී ලංකා රුපි­ය­ලෙහි අගය ආරක්ෂා කර ගැනීම සඳහා මහත් වෙහෙ­සක් ගෙන කට­යුතු කරන පසු­බි­මක මැද­පෙ­ර­දිග යුද සහ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම තුළින් ඇති­වන බාහිර කම්ප­නය සම­නය කර ගැනී­මට ද ශ්‍රී ලංකා මහ බැංකුව පිය­වර ගණ­නා­වක් ගෙන තිබේ.

මෙරට විනි­මය අනු­පාත තීර­ණය කර­නුයේ විදේශ විනි­ම­යට පව­තින වෙළෙ­ඳ­පොළ ඉල්ලුම සැප­යුම මතය. මේ වන විට මැද­පෙ­ර­දිග යුද තත්ත්වය ඇතුළු බාහිර කම්ප­න­යන් හේතු­වෙන් එක්සත් ජන­පද ඩොල­ර­යට අධික ඉල්ලු­මක් පව­තියි. එමෙන්ම සැප­යුම් පාර්ශ්ව­ය­න්ගෙන් රටට ලැබෙන සංචා­රක ඉපැ­යීම් වැනි කාර්ය­ය­න්වල අඩු­වක් දක්නට ලැබේ. මේ නිසා ඉහළ උච්චා­ව­ච­න­යන්ට එක්සත් ජන­පද ඩොල­රය ඇතුළු විදේශ මුදල් ඒකක පත් වේ. මෙය සම­නය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ ජන­වාරි සිට මාර්තු දක්වා කාලය තුළ ඩොලර් මිලි­යන 700ක් වෙළෙ­ඳ­පො­ළෙන් මිලදී ගෙන ඇත.

එමෙන්ම අව­ශ්‍ය­නම් ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙ­ඳ­පො­ළට ඩොලර් ලබා දී තිබේ. ඒ ආකා­ර­යට ශ්‍රී ලංකා රුපි­යලේ අගය ආරක්ෂා කිරී­මට මහ බැංකුව ක්‍රියා කරන අතර ආන­යන සම්බ­න්ධ­යෙන් ඉහළ ඉල්ලු­මක් පැව­තීම වැළැ­ක්වී­මට සහ අප­න­ය­න­ක­රු­වන්ගේ විදේශ විනි­මය ආදා­යම් ඉක්ම­නින්ම මහ බැංකුව වෙත ළඟා කර ගැනී­මට නීති රීති සංශෝ­ධ­නය කර ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකා රජ­යට ආන­යන සීමා පැන­වී­මට පව­තින වෙළෙ­ඳ­පොළ ක්‍රම­වේ­දය සහ ක්‍රියා­ත්මක කරන ආර්ථික ප්‍රති­ප­ත්තිය මත ඉඩ­ක­ඩක් නොමැත.

එවැනි පරි­ස­ර­යක ශ්‍රී ලංකා රුපි­ය­ලෙහි අගය අව­ප්‍ර­මා­ණය වීම මත පද­නම්ව රටේ ආර්ථි­කය බිඳ වැටෙ­නවා යැයි හෝ දියු­ණු­වෙ­නවා යැයි කියා ඍජුව ප්‍රකාශ කිරී­මට අව­කා­ශ­යක් නැත. මුදල් අමා­ත්‍යාං­ශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට දළ විදේශ නිල සංචිත ප්‍රමා­ණය ඉහළ නංවා ගැනී­මට කට­යුතු කර­මින් සිටියි. එහි දී විවිධ පාර්ශ්ව­ය­න්ගෙන් ඩොලර් ගලා ඒම වැඩි කර ගැනී­මට සහ අප­න­ය­න­ක­රු­වන්ගේ අප­න­යන ආදා­යම් ඉහළ නංවා ගැනී­මට වැඩ­පි­ළි­වෙළ සකස් කොට ඇත. ඊට අම­ත­රව ආන­යන සඳහා පව­තින ඉහළ ඉල්ලුම සම­නය කර ගැනී­මට හැකි තරම් දේශීය පරි­භෝ­ජ­නය මන්ද­ගාමී කර­ලී­මට අව­කාශ සල­ස­මින් සිටියි.

කෙසේ නමුත් මේ වන­විට ඉතා දැඩි ලෙස ඉහළ ගිය ඉන්ධන මිල ගණන්, සංචා­රක ගුවන් ටික­ට්පත් මිල ගණන්, ගෑස් ඇතුළු අනෙ­කුත් අත්‍ය­වශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ගෝලීය වශ­යෙන් පහ­තට පැමි­ණෙ­මින් පව­තින ස්වරූ­ප­යක් මතුව ඇත. මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ අපේක්ෂා කළ මට්ට­ම­කට උද්ධ­ම­නය තබා ගැනීම, ආර්ථි­කය වර්ධ­නය කර ගැනීම අභි­යෝ­ගා­ත්මක වුවත් ඉලක්ක ළඟා කර ගැනීමේ බලා­පො­රොත්තු අපේක්ෂා බිඳ නොවැටී තබා ගැනී­මට හැකි පරි­ස­ර­යක් නිර්මා­ණය වී ඇත. මෙම පරි­ස­රය තුළින් බිඳ වැටීම් අවම කර ගනි­මින් ඉදි­රි­යට යෑම හෝ පසු­ප­සට යෑම තීර­ණය කර­නුයේ අප අත්පත් කර­ගත් සහ බොහෝ අසී­රු­වෙන් සිදු කළ ප්‍රති­සං­ස්ක­රණ නිවැ­රදි ලෙසම ක්‍රියා­ත්මක කර­න්නේද? නැතිද? යන කරුණු දෙක තුළිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *