වසර 2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය බිඳ වැටී මුහුණුදුන් අවාසනාවන්ත තත්ත්වයෙන් මිදී 2023 දෙවැනි කාර්තුවේ සිට 2026 පළමු කාර්තුව දක්වා අඛණ්ඩව කාර්තු 11ක් රටේ ආර්ථිකය වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනක එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.
රටක් ලෙස අඛණ්ඩව ආර්ථිකය වර්ධනාත්මක මාවතකට රැගෙන ඒම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවත් එය නිවැරදි දිශානතියකට තිරසර ආර්ථික ප්‍රතිපත්තියක් මත රට මෙහෙයවීමේ ප්‍රතිඵලයක් බවත් ඔහු සඳහන් කළේය.
වසර 2023 පළමු කාර්තුව හා දෙවැනි කාර්තුව පිළිවෙළින් ඍණ 10.6ක් සහ ඍණ 2.2ක් ලෙස ආර්ථිකය හැකිළිණි. ඉන්පසු 2023 තුන්වැනි කාර්තුවේ සිට ආර්ථික වර්ධනය ධන මට්ටමකට ක්‍රමිකව වර්ධනය වූ බව එදිරිසිංහ මහතා පැහැදිලි කළේය.
2023 තුන්වැනි කාර්තුවේ දී ධන 2.0ක් ලෙස ආර්ථිකය වර්ධනය වූ අතර එය එම වසර අවසන් කාර්තුවේ වාර්තා කළේ සියයට 4.3ක් ලෙසය. ඉන්පසු වසර 2024 දී කාර්තු හතරම ආර්ථික වර්ධනය වූයේ පිළිවෙළින් සියයට 5.0, 4.0, 5.3 සහ 5.5ක් ලෙසය. වසර 2025 ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වූ අතර පළමු කාර්තුවේ දී 4.7%ක ද, දෙවැනි කාර්තුවේ දී 5.0%ක ද, තුන්වැනි කාර්තුවේ දී 5.3%ක ද, අවසන් කාර්තුවේ දී 4.8%ක ද ආර්ථික වර්ධනයක් සිදු විය.
එම වසර අවසානයේ රට මුහුණදුන් දිට්වා සුළි කුණාටුව ඇතුළු මේ වන විට මුහුණදෙමින් තිබෙන ලෝක යුදමය තත්ත්වය සහ ඒ ආශ්‍රිතව පැන නැඟී ඇති ඉන්ධන සහ බලශක්ති ගෑස් ඇතුළු වියදම් ඉහළ යෑම නිසා ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇතැයි දැනට ගණන් බලා තිබේ. එවැනි පසුබිමක පවා මේ වසරේ මුල් කාර්තුවේ දී මෙරට ආර්ථිකය 5.1%ක වර්ධනයක් ළඟා කර තිබීම රටක් ලෙස සතුටු විය හැකි කරුණකි. මෙම වර්ධනයේ දී කෘෂිකාර්මික අංශය 1.1%ක කර්මාන්ත අංශය 7.2%ක සහ සේවා අංශය 3.4%ක් ලෙස සෑම අංශයකින්ම වර්ධනයක් සිදුවී තිබීම කැපී පෙනෙන ලකුණකි.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය ආරක්ෂා කර ගැනීම සඳහා මහත් වෙහෙසක් ගෙන කටයුතු කරන පසුබිමක මැදපෙරදිග යුද සහ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම තුළින් ඇතිවන බාහිර කම්පනය සමනය කර ගැනීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගණනාවක් ගෙන තිබේ.
මෙරට විනිමය අනුපාත තීරණය කරනුයේ විදේශ විනිමයට පවතින වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම මතය. මේ වන විට මැදපෙරදිග යුද තත්ත්වය ඇතුළු බාහිර කම්පනයන් හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයට අධික ඉල්ලුමක් පවතියි. එමෙන්ම සැපයුම් පාර්ශ්වයන්ගෙන් රටට ලැබෙන සංචාරක ඉපැයීම් වැනි කාර්යයන්වල අඩුවක් දක්නට ලැබේ. මේ නිසා ඉහළ උච්චාවචනයන්ට එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් ඒකක පත් වේ. මෙය සමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ඩොලර් මිලියන 700ක් වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇත.
එමෙන්ම අවශ්‍යනම් ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳපොළට ඩොලර් ලබා දී තිබේ. ඒ ආකාරයට ශ්‍රී ලංකා රුපියලේ අගය ආරක්ෂා කිරීමට මහ බැංකුව ක්‍රියා කරන අතර ආනයන සම්බන්ධයෙන් ඉහළ ඉල්ලුමක් පැවතීම වැළැක්වීමට සහ අපනයනකරුවන්ගේ විදේශ විනිමය ආදායම් ඉක්මනින්ම මහ බැංකුව වෙත ළඟා කර ගැනීමට නීති රීති සංශෝධනය කර ඇත.
කෙසේ නමුත් ශ්‍රී ලංකා රජයට ආනයන සීමා පැනවීමට පවතින වෙළෙඳපොළ ක්‍රමවේදය සහ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය මත ඉඩකඩක් නොමැත.
එවැනි පරිසරයක ශ්‍රී ලංකා රුපියලෙහි අගය අවප්‍රමාණය වීම මත පදනම්ව රටේ ආර්ථිකය බිඳ වැටෙනවා යැයි හෝ දියුණුවෙනවා යැයි කියා ඍජුව ප්‍රකාශ කිරීමට අවකාශයක් නැත. මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට දළ විදේශ නිල සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටියි. එහි දී විවිධ පාර්ශ්වයන්ගෙන් ඩොලර් ගලා ඒම වැඩි කර ගැනීමට සහ අපනයනකරුවන්ගේ අපනයන ආදායම් ඉහළ නංවා ගැනීමට වැඩපිළිවෙළ සකස් කොට ඇත. ඊට අමතරව ආනයන සඳහා පවතින ඉහළ ඉල්ලුම සමනය කර ගැනීමට හැකි තරම් දේශීය පරිභෝජනය මන්දගාමී කරලීමට අවකාශ සලසමින් සිටියි.
කෙසේ නමුත් මේ වනවිට ඉතා දැඩි ලෙස ඉහළ ගිය ඉන්ධන මිල ගණන්, සංචාරක ගුවන් ටිකට්පත් මිල ගණන්, ගෑස් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් ගෝලීය වශයෙන් පහතට පැමිණෙමින් පවතින ස්වරූපයක් මතුව ඇත. මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ අපේක්ෂා කළ මට්ටමකට උද්ධමනය තබා ගැනීම, ආර්ථිකය වර්ධනය කර ගැනීම අභියෝගාත්මක වුවත් ඉලක්ක ළඟා කර ගැනීමේ බලාපොරොත්තු අපේක්ෂා බිඳ නොවැටී තබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වී ඇත. මෙම පරිසරය තුළින් බිඳ වැටීම් අවම කර ගනිමින් ඉදිරියට යෑම හෝ පසුපසට යෑම තීරණය කරනුයේ අප අත්පත් කරගත් සහ බොහෝ අසීරුවෙන් සිදු කළ ප්‍රතිසංස්කරණ නිවැරදි ලෙසම ක්‍රියාත්මක කරන්නේද? නැතිද? යන කරුණු දෙක තුළිනි.