“ඉදිරි වසර වන විට පළාත් නවයටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි” කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මොස්වර්ල්ඩ් මාටිනස් පදනම එක්ව පෙර පාසල් ගුරුවරුන් 500ක් සඳහා ඩිප්ලෝමා සහතික ලබාදීමට ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහනට අදාළ ගිවිසුම්ගත වීමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මේ පෙර පාසල් ගුරුවරුන්ට ඩිප්ලෝමා ලබාදීම ජාතික අධ්‍යාපන ආයතනය සහ විවෘත විශ්වවිද්‍යාලය මගින් සිදු කිරීමට නියමිත අතර මෙය වසර 03ක් තුළ පළාතේ ක්‍රියාත්මක වීමට නියමිතය. මීට අමතරව ආදර්ශ පෙර පාසල් 02ක් පිහිටුවීම,පෙර පාසල් ගුරුවරුන් 1000කට වසර 03ක් කාලයක් සඳහා පුහුණුවීම් ලබාදීම, පෙර පාසල් සඳහා ඉගෙනුම් උපකරණ සහ කියවීම් පොත් ලබාදීම, මවුපිය දැනුවත් කිරීම් වැඩසටහන් පැවැත්වීම, ජංගම කියවීම් මධ්‍යස්ථාන 02ක් පිහිටුවීම මේ වැඩසටහනට ඇතුළත්ය.
මෙහිදී වැඩිදුරටත් ඇමැතිනිය මෙසේද පැවසුවාය.
“අපි නව මුල් ළමා විය සංවර්ධනයට ප්‍රධානතම අවධානය යොමු කරන අමාත්‍යාංශයක් විදියට එය ප්‍රධාන කරුණක් ලෙස සලකනවා. එහි ප්‍රධානම දෙයක් තමයි මුල් ළමාවිය අධ්‍යාපනය. අපි විශ්වාස කරනවා එය අපේ රටේ තිබෙන අනිත් අධ්‍යාපනික කටයුතු සමඟ සමාන්තරව යා යුතුයි කියලා. මෙය අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ සම්බන්ධ විය යුතුයි. මේ පෙර පාසල් විෂය කියන එක තාමත් ලංකාවේ පවතින්නේ අවිධිමත් විදියකට. එය තවම රාජ්‍ය සේවාවක් බවට පත්වෙලා නැහැ. බඳවා ගැනීමේ පටිපාටියක් සහ ඔවුන් නිරීක්ෂණයට අමාත්‍යාංශයක් නැහැ. එය සංවෘත වූ විෂයක් විදියටයි පවතින්නේ. පෙර පාසල් ගුරුවරුන්ට පත්වීම් ලබා දෙන්න කිසිම කෙනෙක් නැහැ. මේවා බොහොමයක් පෞද්ගලික ආයතන විදියටයි යන්නේ. එහෙම වුණාම මේ පෙර පාසල්වල සංවර්ධනයට රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී විශාල ගැටලුවක් ඇති වෙනවා. පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණත්වය ඇගයීමට අඛණ්ඩ ක්‍රියාවලියක් නැහැ.
ගිය වසරේදී අපි පෙර පාසල් සඳහා විෂය මාලා රාමුවක් හඳුන්වා දුන්නා. ඔවුන් පුහුණු කිරීමේ කටයුතු සිදු කළා. පෙර පාසල් පවත්වාගෙන යෑමේදී භෞතික වටපිටාව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ලබාදිය හැකි මට්ටමේ තිබිය යුතුයි. අනිත් කාරණය ගුරුවරයා නව අධ්‍යාපනය පිළිබඳව යාවත්කාලීන විය යුතුයි. අවුරුදු පහක් යන විට ලෝකයේ ඕනෑම දැනුම් පද්ධතියක් කල් ඉකුත් වෙනවා. මේ නිසා අලුත් දෙය හැදෑරීමට හැකියාව තිබිය යුතුයි.
වර්තමාන පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය දැන් තරගකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. ක්‍රියාකාරකම් වැඩියි. ඉගැන්වීම් වැඩියි. මේ නිසාම මානව දයාව ඇති දරුවන් බිහිවීම විරල වෙලා.
2027 වන විට පළාත් නවයටම එකම ජාතික පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් සියලු පෙර පාසල් නියාමනය කරනවා. පෙර පාසල්වල ගුණාත්මක භාවය වර්ධනය කිරීම සහ ගුරුවරුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට රජය නියාමනය වන පූර්ව ළමා විය සංවර්ධන වැඩපිළිවෙළක් අපි හදනවා”
බස්නාහිර පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, නිලධාරීන්, ජාතික අධ්‍යාපන ආයතනය සහ විවෘත විශ්වවිද්‍යාලයේ නියෝජිතයන්, මොස්වර්ල්ඩ් මාටිනස් පදනමේ නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.