ගෝඨාභය සහ අසාත් මවුලානා සිටින ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම අද දිනයේ අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ සහ අසාද් මවුලානා එකට සිටින බවට ඉදිරිපත් කර ඇති ඡායාරූපය ගත් ආකාරය සිය සේවාදායකයාගේ මතකයේ නොමැති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

දේශපාලඥයන් මුණගැසීමට විවිධ පුද්ගලයන් නිරන්තරයෙන් පැමිණෙන බැවින්, එවන් ඡායාරූපයක් සම්බන්ධයෙන් මතකයක් නොතිබීම පුදුමයට කරුණක් නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

2017 වසරේ ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී පැවති සාකච්ඡාවකදී අසාද් මවුලානා මුණගැසුණු බව වන ප්‍රකාශය ජනාධිපති නීතිඥවරයා එහිදී මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේ නැත. එහෙත් එම හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව කියන කරුණු, සාමාන්‍යයෙන් දේශපාලඥයෙකු විසින් සිදුකරනු ලබන ආකාරයේ සාමාන්‍ය කතාබහක් පමණක් බව ඔහු සඳහන් කළේය.

අසාද් මවුලානා සමග පැවති හමුව හෝ අදාළ ඡායාරූපය ප්‍රතික්ෂේප නොකළද, අසාද් මවුලානා විසින් ‘චැනල් ෆෝ’ (Channel 4) නාලිකාවට කර ඇති ප්‍රකාශය සහ ඔහු ලබාදී ඇති දිවුරුම් පෙත්සමක කරුණු අධිකරණයට ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා, එම කරුණු කිසිසේත් පිළිගත නොහැකි මට්ටමේ ඒවා බව අවධාරණය කළේය.

අසාද් මවුලානා විසින් මෙරට අධිකරණය, නීතිඥවරුන් සහ ප්‍රකට දේශපාලන ඝාතන ඇතුළු සිදුවීම් රැසක් සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ ඒ ආකාරයට ඔහු එහිදී අධිකරණය හමුවේ කියවා පෙන්වීය. එමෙන්ම අසාත් මවුලානාගේ දේශපාලන මතවාදයන්ද එහිෆ්හී උපුටා දක්වමින් මෙලෙස ශ්‍රී ලංකාව ගැන කරුණු ප්‍රකාශ කර ඇති පුද්ගලයෙකු විශ්වාස කිරීම පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළේය.

එවැනි සැක සහිත කරුණු ඉදිරිපත් කළ පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ කිරීම ලැජ්ජාවට කරුණක් බව පැවසූ රොමේෂ් ද සිල්වා මහතා, අසාද් මවුලානාගේ ප්‍රකාශ විශ්වාස කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

තවද, විශ්‍රාමික විනිසුරුවරුන්, විනිසුරුවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටු ගණනාවක වාර්තා මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කිසිදු කරුණක් සඳහන් කර නොමැති පසුබිමක, අසාද් මවුලානාගේ ප්‍රකාශයක් මත පමණක් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව, ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට අද දිනයේ ප්‍රමාණවත් කාලයක් නොමැති වූ බැවින්, වැඩිදුර කරුණු දැක්වීම සඳහා පෙත්සම් විභාගය ජුලි 06 සහ ජුලි 09 යන දින දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *