මෙට්‍රෝ බස් 104ත් සමග වසර අවසන් වනවිට ලංගමයට තවත් බස් රථ 600ක් එයි

මගී ප්‍රවාහන සේවාවන් වඩාත් විධිමත් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා මෙම වසර අවසාන වීමට පෙර අලුතින් බස් රථ 600 ක් ආනයනය කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෙම බස් රථ තොගයට අධිවේගී මාර්ග සේවා සඳහා වෙන් කෙරෙන සුඛෝපභෝගී බස් රථ (Luxury coaches) 200 ක් සහ සාමාන්‍ය මාර්ගවල ධාවනය සඳහා වන සම්මත බස් රථ (Standard buses) 400 ක් ඇතුළත් වේ. මෙම බස් රථ සියල්ලම එළඹෙන දෙසැම්බර් මාසය වන විට දිවයිනට ළඟා වීමට නියමිතය.

මීට අමතරව, අලුතින් මිලදී ගන්නා ලද “මෙට්‍රෝ” (Metro) වර්ගයේ බස් රථ 104 ක් මේ වන විටත් මෙරට බලා පිටත් කර හැර ඇති අතර ඒවා එළඹෙන අගෝස්තු 15 වන දින වන විට ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව අමාත්‍යාංශය තහවුරු කරයි.

මෙම මෙට්‍රෝ බස් රථ සඳහා කාඩ්පත් ඇසුරින් ගාස්තු අය කරන පද්ධති (Card‑based fare collection systems) සවි කිරීමට නියමිතය. එම පද්ධති සවි කර අත්හදා බැලීම් නිම කිරීමෙන් අනතුරුව, එළඹෙන සැප්තැම්බර් 20 වන දින වන විට මෙම බස් රථ නිල වශයෙන් මගී ප්‍රවාහනය සඳහා ධාවනයට එක් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *