ලෝක බැංකුවේ නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව නැවත වරක් ඉහළ මැදි ආදායම් ලබන කාණ්ඩයේ (Upper-Middle-Income) රටක් දක්වා උසස් වී තිබේ. ලෝක බැංකුව විසින් ලොව රටවල් සතු ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය (GNI per capita) පදනම් කර ගනිමින් මෙම වාර්ෂික වර්ගීකරණය සිදු කරනු ලබයි.
මෙම වර්ගීකරණය හඳුන්වා දුන් 1988 වසරේදී ශ්‍රී ලංකාව පැවතියේ පහළ ආදායම් ලබන රටක් ලෙසය. ඉන් අනතුරුව 1997 වසරේදී පහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වීමට ලංකාවට හැකි විය. පසුව 2018 වසරේදී ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වුවද, එම තත්ත්වය පවත්වා ගැනීමට හැකි වූයේ එම වසර තුළ පමණි. ඒ අනුව 2019 වසරේ සිට 2025 වසර දක්වාම ශ්‍රී ලංකාව නැවතත් වර්ගීකරණය වී තිබුණේ පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් ලෙසය
ලෝක බැංකුව විසින් රටවල් වර්ගීකරණය කිරීම සඳහා මෙවර යොදාගෙන ඇති නවතම මූල්‍ය සීමාවන් (ඇමෙරිකානු ඩොලර්වලින්) පහත පරිදි වේ:
- ඇමෙරිකානු ඩොලර් 1,175 දක්වා – පහළ ආදායම් රටවල්
- ඇමෙරිකානු ඩොලර් 1,176 සිට 4,635 දක්වා – පහළ මැදි ආදායම් රටවල්
- ඇමෙරිකානු ඩොලර් 4,636 සිට 14,375 දක්වා – ඉහළ මැදි ආදායම් රටවල්
- ඇමෙරිකානු ඩොලර් 14,376 ට වැඩි – ඉහළ ආදායම් රටවල්
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇස්තමේන්තුවලට අනුව 2025 වසරේදී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 4,910 ක් වුවද, විනිමය අනුපාතවල විචලනයන් නිවැරදි කරමින් ලෝක බැංකුව ඔවුන්ගේම ක්‍රමවේදයකට අනුව එය ඇස්තමේන්තු කර ඇත්තේ ඩොලර් 4,670 ක් ලෙසය. ඒ අනුව, ඉහළ මැදි ආදායම් සීමාව වන ඩොලර් 4,636 සීමාව යාන්තමින් ඉක්මවා යාමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
ලෝක බැංකුව විසින් වර්ගීකරණය කරන ලද රටවල් 218 ක් අතුරින් රටවල් 87 ක් ඉහළ ආදායම් රටවල් ලෙසත්, රටවල් 59 ක් ඉහළ මැදි ආදායම් රටවල් ලෙසත්, රටවල් 47 ක් පහළ මැදි ආදායම් රටවල් ලෙසත්, ඉතිරි රටවල් 25 පහළ ආදායම් රටවල් ලෙසත් හඳුනාගෙන තිබේ. මෙවර වර්ගීකරණයේදී කලින් පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිටි ශ්‍රී ලංකාව, වියට්නාමය, පිලිපීනය, ජෝර්දානය සහ මයික්‍රොනීසියාව යන රටවල් 5 ඉහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වී ඇත. මීට අමතරව ටෝගෝ රාජ්‍යය පහළ ආදායම් කාණ්ඩයේ සිට පහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
මෙම නව වර්ගීකරණය ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය පිළිබඳව විශේෂ ඇගයීමක් සිදු කර ඇත:
“ශ්‍රී ලංකාව යනු නැවත හිස ඔසොවා නැගී සිටීම පිළිබඳ කතාවකි. 2022 දී රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටෙන තත්ත්වයක ආසන්නය දක්වා රට තල්ලු කළ දැඩි ආර්ථික අර්බුදයක් නිමා කර යාන්තමින් වසර තුනක් ගත වීමටත් පෙර, කර්මාන්ත ක්ෂේත්‍රයන් නැවත ප්‍රබෝධමත් වීම සහ මූල්‍ය හා සංචාරක සේවා ක්ෂේත්‍ර වල වර්ධනය හේතුවෙන් 2025 දී රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 5% කින් වර්ධනය විය. වර්ගීකරණ සීමාව පසු කර ගොස් ඇත්තේ යාන්තමින් වුවද, මෙසේ ඉහළ මැදි ආදායම් රටක් ලෙස නැවත වර්ගීකරණය වීම ශ්‍රී ලංකාවේ දරා ගැනීමේ හැකියාව සංකේතවත් කරන්නකි.