ෂැංග්‍රීලා ඉඩමට මහින්ද රාජපක්ෂ ඩොලර් ලක්ෂ 50ක අල්ලසක් අරන් – චෝදනාව ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ගාලු මුවදොර පිහිටි හමුදා මූලස්ථාන ඉඩම ෂැංග්‍රිලා හෝටලයට විකිණීමේදී හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා ඩොලර් ලක්ෂ 50 ක් අල්ලස් ලෙස ලබාගෙන ඇතැයි එල්ල කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ ඉඩම විකිණීමේදී ටී.සී.එල්. ඉක්මා සමාගම හා හෙලියාට් යන උපදේශන සේවා සපයන සමාගම හරහා හිටපු ජනාධිපතිවරයාට මෙම අල්ලස් මුදල් ලබාදී ඇති බවට සිංගප්පූරුවේ පදිංචි, චිදම්බරම් නමැති පුද්ගලයකු දිවුරුම් ප්‍රකාශයක් ද ලබාදී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාධ්‍යයට කර තිබූ ප්‍රකාශයක් පදනම් කර ගනිමින්, ‘පුරවැසි බලය’ සංවිධානය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා විසින් අල්ලස් ලෙස ලබාගෙන ඇතැයි කියන මුදල් ආයෝජනය කරමින් තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් මිලදී ගැනීම, සී.එස්.එන්. මාධ්‍ය ජාලයට මුදල් ලබාදීම සිදුකර ඇති බවත්, LOLC‍ හරහා අදාළ මුදල් මෙරටට ගෙන්වීමේදී මුදල් විශුද්ධිකරණය වී ඇති බවත්, චිදම්බරම් නමැති පුද්ගලයාගේ දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ව ඇති බව පැමිණිල්ල කියයි.

ඉහත කරුණු පදනම් කර ගනිමින්, කඩිනම් විමර්ශනයක් ආරම්භ කර, අල්ලස් ලබාගත් බවට චෝදනා ලැබ ඇති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද, පැමිණිල්ල ඉදිරිපත් කරමින් ‘පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *