ඩෙංගු මදුරුවා සක්‍රිය වන වේලාව උදෑසන 6 සිට 11 දක්වා වෙනස් වෙයි

ඩෙංගි මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාල සීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත් ම පර්යේෂණවලින් හෙළිව ඇතැයි ජාතික ඩෙංගි මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පවසයි.

මීට පෙර ඩෙංගි මදුරුවා වඩාත් සක්‍රීය වූයේ, හිරු උදාවන සහ හිරු බැස යන හෝරාවන්හි වුවද නව පර්යේෂණ වලට අනුව උදෑසන 6:00 සිට 11:00 දක්වා කාලය තුළ මෙම වාහක මදුරුවන් වඩාත් සක්‍රීයව සිටින බව අනාවරණය වී තිබේ.

උදෑසන කාලසීමාව පොදු ජනතාව සහ පාසල් දරුවන් වඩාත් ක්‍රියාශීලීව බාහිර පරිසරයේ ගැවසෙන කාලය බැවින් මදුරුවන් දෂ්ට කිරීමේ ප්‍රවණතාව සහ අවදානම බෙහෙවින් ඉහළ ගොස් ඇත.

තවමත් පාසල් පරිශ්‍රවලින් මදුරු කීටයන් බහුලව හමුවීමේ හේතුවෙන් විශේෂයෙන්ම පාසල් දරුවන් මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව සිටින බව වෛද්‍ය කන්නන්ගර සඳහන් කරයි.

පසුගිය ඩෙංගි මර්දන සතියේදී ඩෙංගි මදුරුවන් බෝවන ස්ථානවලින් සියයට 52ක්ම හඳුනාගෙන තිබුණේ පාසල් පරිශ්‍රවලිනි.

මෙවර මර්දන සතියේදී ද එය සියයට 42ක ඉහළ අගයක් ගෙන ඇත.

පාසල් පරිශ්‍ර තුළ මදුරුවන් බෝවීම සහ උදෑසන කාලයේ උන් දෂ්ට කිරීම ඉහළ යෑම දරුවන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයකි.

මේ වන විට දිවයින පුරා ඩෙංගි රෝගීන්ගේ සංඛ්‍යාව 60,000කට ආසන්න වෙමින් පවතින අතර ඊයේ (ජූලි 3) වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 37කි.

ඩෙංගි රෝගීන් විශාල වශයෙන් වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, මහනුවර, මඩකළපුව පහත සඳහන් දිස්ත්‍රික්කවල රජයේ රෝහල් මේ වන විට රෝගීන්ගෙන් පිරි ඉතිරි ගොස් ඇතැයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *