කරන්න ඕන දේ මම කරන්නම්, කරන්නාගොඩ ඉහළ නිලධාරීන්ට කියලා – අල්ලස් කොමිසම අධිකරණයට කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සම්බන්ධ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

සැකකරු ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ 03 දා පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ , 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍යභට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගි වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බවයි.

2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍යභට නිලධාරීන් බඳවා ගැනීමේදී, බඳවා ගැනීම සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව, විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියකු වශයෙන් බැඳීමට සහ එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගිවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ හට අවස්ථාව මෙම සැකකරු විසින් සලසා දී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ නීතිඥවරිය මෙලෙස සඳහන් කළාය.

“ස්වාමීනි මේ විමර්ශනය පටන් ගන්නේ 2016 ජූලි 25 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව; සුදුසුකම් ඇති සිසුන් නාවික හමුදාවේ සිටියදී සුදුසුකම් නැති අයකු ශිෂ්‍ය භටයකු ලෙස බ්‍රිතාන්‍යයේ පැවති නාවික හමුදාවේ පාඨමාලාවකට යවා තිබෙනවා. ස්වාමීනි සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනවලදී 2016 ඔක්තෝබර් මස වනවිටත් මෙම සැකකරු සිවිල් පුරවැසියෙක් ලෙසයි සිටින්නේ. එසේ සිටියදීම එංගලන්තයේ රාජකීය නාවික හමුදාවේ පාඨමාලාවකට සැකකරුගේ නම යෝජනා කර තිබෙනවා.

මෙම පාඨමාලාව ඉතා ගෞරවනීය පාඨමාලාවක් නාවික හමුදාවට බැඳී වසර දෙකක පුහුණු කාලයක් අවසන් කිරීමෙන් පසු දක්ෂතම ශිෂ්‍යයන් තමයි මෙම හමුදා පුහුණුවට ශිෂ්‍යභටයන් ලෙස යවන්නේ. 2006 ඔක්තෝබර්වල සැකකරුගෙ නමත් යවලා. මෙම පාඨමාලාවට බඳවාගන්නේ ඉතාමත් සීමිත පිරිසක්; සීමිත අවස්ථාවක් තමයි හිමිවන්නේ. මෙම සැකකරු සිවිල් පුරවැසි­‍ෙයක් ලෙස සිටියදී මෙම නාම ලේඛනයට ඇතුළත් කරලා ලහි ලහියේ එම පාඨමාලාවට යැවීමට මෙම සැකකරු කටයුතු කර තිබෙනවා.

උසස් පෙළින් පසුව ප්‍රතිඵල ලැබුණට පස්සේ තමයි අයදුම් කරලා තියෙන්නේ. එංගලන්තයේ තමයි මෙම පාඨමාලාව තිබුණේ. ඒකට සහභාගි වෙන්නේ ඉහළ තලයේ නිලධාරීන්. නාවික හමුදාවේ විධායක මට්ටම්වල සිටින සුදුසුකම් සහිත අය. ගණිතය, විද්‍යාව වැනි විෂයන් තුනක් සමත්ව තියෙන්න ඕන. සාමාන්‍ය පෙළ සඳහා ඉංග්‍රීසි විෂය මෙම පාඨමාලාවට බලපානවා. නාවික හමුදාවේ විධායක අංශවලින් තමයි බඳවාගන්නේ.

නමුත් මෙම සැකකරු උසස් පෙළ කලා අංශයෙන් තමයි කරලා තියෙන්නේ. මෙම පාඨමාලාවට අයදුම් කරන සුදුසුකම් එම නිසා වෙනස් කරලා තියෙනවා. විද්‍යා හා කලාවලින් විෂයන් දෙකක් සමත් වීම යැයි පවසා පුවත්පත්වල දැන්වීම් පළ කර තිබෙනවා.

මෙම සැකකරු විසින් යෝෂිත රාජපක්ෂගේ සහතික එංගලන්තයේ පැවති එම පුහුණුවට යැවීම සඳහා ලිපි හුවමාරු කර තිබෙනවා. එම අදාළ ආයතන සමඟ. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලට ද යෝෂිත රාජපක්ෂ සහභාගි වෙලා තියෙනවා. සුදුසුකම්වලින් තෝරාගන්නා ලද අයගේ සහතිකපත් විභාග දෙපාර්තමේන්තුවට යවා තිබුණද යෝෂිත රාජපක්ෂගේ සහතික ඒ සඳහා යවා නොතිබුණු බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූයේ. එසේ නොයවා ජ්‍යෙෂ්ඨ මණ්ඩලිකවරයා වෙත යවා තිබෙනවා.

තවද දෙවැනි වරටත් යෝෂිත රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම් වෙනස් කිරීමට අවශ්‍ය බැවින් 2006/12/6 වන දින පුවත්පත් දැන්වීමක් පළ කර තිබූ බවද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.”

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේ එවකට පැවැති යුද කටයුතු වාතාවරණය හමුවේ යුද හමුදාවට නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට නිලධාරීන් බඳවා ගැනීමේ අවශ්‍යතාවයක් තිබූ බැවින් මෙලෙස ක්‍රියා කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා මේ ලෙස සඳහන් කළේය.

“ස්වාමීනි,මේ අල්ලස් කොමිසම විසින් සිදු කරන්නේ වැරදි වැටහීමක් ඇති කිරීම මෙම සිද්ධිය සම්බන්ධයෙන්. එවකට රටේ පැවැති අධික යුධමය තත්ත්වය හමුවේ හමුදාවට විශාල නිලධාරීන් පිරිසක් බඳවා ගනු ලැබුවා. ඒ අනුව යුද හමුදාවට 50,000ක පිරිසක් සහ නාවික හමුදාවට 25,000ක පිරිසක් සහ ගුවන් හමුදාවට 15,000ක පිරිසක් බඳවා ගැනීමට කටයුතු කළා.

තවද රටේ ජනාධිපතිතුමාගේ පුතා නාවික හමුදාවට ගියාම ජනතාව අතර තමන්ගේ දරුවා ද හමුදාවට යැවීමේ අර්ථයක් නිරූපණය කරනවා. අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි, ගණිතය, දෙමළ, සිංහල ඇතුළු විෂයන් හයක් එකවර සමත් වී තිබීම පමණයි මේකට බැලුවේ නඩුව අගෝස්තු 4 වැනිදා යළි කැදවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *