රුධිර පරීක්ෂාවට රුපියල් 150ක වැඩිපුර මුදලක් අය කළ වවුනියාවේ පිහිටි රෝහලකට රුපියල් ලක්ෂ පහක (500,000/-) දඩයක් නියම කිරීමට වවුනියාව මහේස්ත්රාත් අධිකරණය පියවර ගෙන තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වවුනියාව දිස්ත්රික් විමර්ශන නිලධාරීන් කළ වැටලීමකට අදාළව වවුනියාව මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.
පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මඟින් සිදු කරනු ලබන Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවන් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පනවා ඇති පාලන මිල රු. 400කි.
එම මුදල ඉක්මවා රුපියල් 550ක මුදලක් අය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති විධාන අංක 67 උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම රෝහලට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් ඉකුත් 14 දින සිදුකළ වැටලීමක් මඟින් මෙම රෝහල මඟින් රුපියල් 550ක මුදලක් අය කිරීමේ චෝදනාව අනාවරණය කරගෙන තිබේ.
මෙම නඩුව පෙරේදා (28) වවුනියාව මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විත්තිකාර රෝහල් සමාගමට රුපියල් 500,000/- (ලක්ෂ පහක) දඩ මුදලක් නියම කළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.
පාරිභෝගිකයන් සූරාකමින් පාලන මිල ඉක්මවා ගාස්තු අය කරන පෞද්ගලික රෝහල් හෝ රසායනාගාර පිළිබඳ කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකතන අංකය ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවට දැනුම් දෙයි.