කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කර අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය (JICA) අතර එකඟතාව පළවී තිබේ.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, එහිදී වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ JICA උසස් නියෝජිත පිරිසක් අතර මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
පසුගිය කාලසීමාවේදී තාවකාලිකව නතර කර දමා තිබූ මෙම දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන රජය අතර පැවති සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස ජපාන රජයේ එකඟතාව පළවී ඇත. ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ JICA ප්‍රධානීන් සමඟ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක ණය පහසුකම් ලබාදීමට JICA ආයතනය එකඟ වී ඇති අතර, ඊට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතියි. පිළිගත් ටෙන්ඩර් පටිපාටියට අනුකූලව තෝරාගත් ඉදිකිරීම් සමාගම සමඟ ද ඉදිරි සාකච්ඡා කෙරෙමින් පවතියි.
දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම්වලට අමතරව, කොළඹ වරායේ නෞකා ගමනාගමනය වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා නෞකා ගමනාගමන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ සඳහා අවශ්‍ය සහය ලබා ගැනීමටත්, ඊට අදාළ යෝජනාව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ඉදිරිපත් කිරීමටත් තීරණය වී තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන මගී පර්යන්ත ව්‍යාපෘතිය වේගවත් කිරීම රජයේ ප්‍රධානතම අවශ්‍යතාවක් වන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සහ ආයෝජකයන් පිළිගැනීම සඳහා වඩාත් හිතකර සහ ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කිරීමට රජය උපරිම උත්සාහයක් ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන්, විශේෂයෙන්ම වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය සහ JICA ආයතනය ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.
මෙම සාකච්ඡාව සඳහා JICA උප සභාපති හාරා ෂෝහෙයි මහතා සහ JICA ප්‍රධාන නියෝජිත හොන්ෂු ෂිගෙයෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ අමාත්‍යාංශයේ ලේකම්වරයා ද සහභාගි වූහ.