ඉදිරි වසර පහ ඇතුළත කොළඹ වරාය නගරය (Port City Colombo) වෙත තවත් අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජය ඉලක්ක කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
මේ වන විටත් ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු කරගෙන ඇති බවත්, මෑතකදී ඔස්ට්‍රේලියාවේ පැවති ආයෝජන සමුළුවේදී ද වරාය නගරය ප්‍රධාන ආයෝජන අවස්ථාවක් ලෙස ඉදිරිපත් කළ බවත් ඒ මහතා සඳහන් කළේය. Ansell, Horizon Group USA, IGT1, KPMG සහ GAC Services වැනි ජාත්‍යන්තර ප්රමුඛ පෙළේ සමාගම් රැසක් දැනටමත් වරාය නගරය හා සම්බන්ධ වී මෙහෙයුම් ආරම්භ කර ඇත.
මීට පෙර ලබාදී තිබූ අධික බදු සහන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි සංශෝධනය කර ඇති අතර, ආයෝජන ආකර්ෂණය සඳහා බදු සහනවලට අමතරව උසස් අන්තර්ජාල පහසුකම්, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ ඩුබායි හෝ සිංගප්පූරුවට සාපේක්ෂව අඩු ජීවන වියදම විශාල වාසියක් වී තිබේ. මීට අමතරව ප්‍රධාන පෙළේ නිවාස ව්‍යාපෘති දෙකක්, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති තුනක්, හෝටලයක් සහ සම්මන්ත්රණ ශාලාවක් ද මේ වන විට ඉදිකෙරෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.