කුඩු සල්ලි එහා මෙහා කළ බැංකු ලොක්කන් පස්සෙන් CID පන්නයි

 මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ගනුදෙනු බැංකු හරහා සිදුකිරීමට පහසුකම් ලබාදී ඇතැයි කියන ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක ප්‍රධානීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විදෙස් රටවල සැඟව සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් කිහිපදෙනකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවූ කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශනය ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනයේදී අදාළ චෝදනා එල්ල වන බැංකු ප්‍රධානීන් කිහිප දෙනකු ළඟඳීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

‘‘ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන මත අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකුගෙන්, මුදල් ගනුදෙනු සිදුකරන ලද ආකාරය පිළිබඳව විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී අදාළ ජාවාරම්කරුවන් මුදල් ගෙනුදෙනු ඇතැම් බැංකු හරහා සිදුකිරීමට එම ආයතනවල උසස් නිලධාරීන් අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙන බව අනාවරණය වී තිබෙනවා. සාමාන්‍යයෙන් යම් පුද්ගලයකු බැංකු හරහා වැඩි මුදලක් යම් ගිණුමකට හුවමාරු කිරීමට යාමේදී ඒ සඳහා හේතු දැක්වෙන කරුණු ඉදිරිපත් කළ යුතුයි.

නමුත් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රුපියල් කෝටි ගණනින් මුදල් ඇතැම් බැංකු හරහා හුවමාරු කර තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

එම කරුණු මත බැංකු හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇතැයි කියන බැංකු ප්‍රධානීන් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළා’’ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *