යාපනය,ඉනුවිල් ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදි ඊයේ(14) සවස 6.30 ට පමණ වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් පියා හා වයස මාස තුනක් වු දියණියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය චුන්නාකම් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ අනුරාධපුරය සිට කන්කසන්තුරය බලා ධාවනය වු දුම්රියේ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් වෑන් රථයේ ගමන්ගත් යාපනය ඉනුවිල් ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි සයන්තන් නමැති පුද්ගලයෙකු හා ඔහුගේ මාස තුනක් වන දියණියද ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් මියගිය පුද්ගලයාගේ බිරිඳද බරපතල තුවාල ලබා යාපනය රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.
අනතුරින් වෑන් රථයටද දැඩි හානි සිදුව ඇති අතර දුම්රිය ගමන් කරන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගය වසා නොතිබීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව ප්රදේශවාසීන් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.