ශ්‍රි ලංකාවේ ඩොලර් බිලියන 200ක් වටිනා තෙල් හා ගෑස් ගන්න අද වැඩ ඇරඹෙයි – බලපත්‍ර නිකුත් කරයි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය හා සංවර්ධනය සඳහා නව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ අද (25) ආරම්භ කරන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව, මෙරට මුහුදු සීමාවේ පවතින ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර බලශක්ති සමාගම් වෙත ආයෝජන අවස්ථා ලබාදීමට නියමිතය.

බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ වාණිජමය වශයෙන් සංවර්ධනය කළ හැකි ස්වාභාවික වායු තැන්පතු පවතින බව මීට පෙර සිදුකළ ගවේෂණ මගින් තහවුරු වී තිබේ.

එම සම්පත් සංවර්ධනය කිරීම තුළින් මෙරට බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම, බලශක්ති ආනයන මත පවතින පීඩනය අවම කිරීම සහ කාර්මික වර්ධනයට සහාය වීම රජයේ අපේක්ෂාව වී ඇත.

බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියට අදාළ වැඩිදුර තොරතුරු අද පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ තෙල් හා ගෑස් ගවේෂණය කිරීමේ උත්සාහය දශක ගණනාවක් පුරා පැවති අතර, 2011 වසරේදී කෙයාන් ලංකා සමාගම මන්නාරම් ද්‍රෝණියේ සිදුකළ ගවේෂණවලදී ‘බැරකූඩා’ සහ ‘ඩොරාඩෝ’ යන ප්‍රදේශවලින් ස්වාභාවික වායු සොයාගැනීමත් සමඟ එම ක්‍රියාවලියට සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි විය.

මන්නාරම් ද්‍රෝණියේ කැබලි හතරක ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමට රජය සැලසුම් කර තිබේ.

මේ සඳහා කැබිනට් අනුමැතිය 2025 මැයි මාසයේදී හිමිවූ අතර, ඉන් අනතුරුව විභව ජාත්‍යන්තර ආයෝජකයන් අතර ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම ආරම්භ කෙරිණි.

අධිකරණමය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ක්‍රියාවලිය මීට පෙර ප්‍රමාද වූ නමුත්, එම නීතිමය බාධා ඉවත් වීමත් සමඟ ජාත්‍යන්තර ලංසු තැබීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකි වී තිබේ.

ඛනිජ තෙල් ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා අවශ්‍ය නීතිමය රාමුව 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත මගින් ශ්‍රී ලංකාව විසින් හඳුන්වා දී ඇත.

එමෙන්ම, මුහුදු සීමාවේ පවතින ස්වාභාවික වායු සම්පත් වාණිජකරණය කිරීම සහ ඒ සඳහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම අරමුණු කර ගනිමින් 2020 වසරේදී ස්වාභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්ද ගැසට් කර තිබේ.

මන්නාරම් ද්‍රෝණියේ සැලකිය යුතු හයිඩ්‍රොකාබන් සම්පත් පවතින බවට මීට පෙර සිදුකළ ඇස්තමේන්තුවලින්ද පෙන්වා දී ඇත.

2021 වසරේ පාර්ලිමේන්තු ඇස්තමේන්තුවකට අනුව එම ද්‍රෝණියේ තෙල් හා ගෑස් සම්පත්වල සමස්ත විභව වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 267ක් පමණ ලෙස සඳහන් වුවද, එම අගය වාණිජමය වශයෙන් නිස්සාරණය කළ හැකි බවට තහවුරු වූ සංචිතවල වටිනාකමක් නොව, සම්පත්වල සමස්ත විභවතාවය නිරූපණය කරන ඇස්තමේන්තුවක් බව බලධාරීන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *