ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව හා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණින්, කෙරවලපිටිය කාර්මික කලාපයේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 350ක ‘සහස්දනවි’ ඒකාබද්ධ චක්‍රිය විදුලි බලාගාර (Combined Cycle Power Plant) ව්‍යාපෘතිය සඳහා වන ආයෝජන ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ නිල වශයෙන් ලියාපදිංචි කර තිබේ.
මීට අදාළ ආයෝජනය සඳහා අත්සන් තැබීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් ආයෝජන මණ්ඩලයේදී පසුගියදා සිදු කෙරිණි. 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17(2) වගන්තියට අනුකූලව මෙම ගිවිසුම ලියාපදිංචි කර තිබේ. මෙරට යටිතල පහසුකම් හා බලශක්ති ක්ෂේත්‍රය වෙත ඉහළ වටිනාකමකින් යුතු ප්‍රාග්ධන ආයෝජන ආකර්ෂණය කරගැනීමට මෙය විශාල පිටිවහලක් වනු ඇත.
සහස්දනව් ලිමිටඩ් (Sahasdhanavi Limited) සමාගම මඟින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියට ඇස්තමේන්තුගත මුළු ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 291.19කි. එම මූල්‍ය ව්‍යූහය කොටස් ප්රාග්ධනය අමෙරිකානු ඩොලර් මිලියන 90.00ක් ණය ප්රාග්ධනය, අමෙරිකානු ඩොලර් මිලියන 196.19ක් වන අතර අනෙකුත් මූලාශ්‍ර අමෙරිකානු ඩොලර් මිලියන 5.00ක ආයෝජනයකින් සමන්විත වේ.
මෙම ප්රාග්ධනය ස්ථාවර වත්කම් මෙන්ම මෙහෙයුම් ප්රාග්ධනය සඳහා යොදවයි. බලාගාරයේ පූර්ණ මෙහෙයුම් ආරම්භ වීමත් සමඟ ක්ෂේත්‍රයේ ඍජු හා වක්‍ර නව රැකියා අවස්ථා 1,147ක් උත්පාදනය වනු ඇතැයි ගණන් බලා ඇත. මෙම බලාගාරය ඉදිකිරීම, හිමිකාරිත්වය දැරීම, මෙහෙයවීම සහ පැවරීම පදනම මත ක්‍රියාත්මක වේ. එමඟින් නිපදවන සමස්ත විදුලිය ඍජුවම ජාතික විදුලිබල පද්ධතියට සැපයේ. ගිවිසුම්ගත දිනයේ සිට මාස 42ක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වේ.
පළමු අදියර යටතේ ගෑස් ටර්බයිනය (Gas Turbine) මඟින් ක්‍රියාත්මක වේ. ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) භාවිතයෙන් මෙගාවොට් 243ක ධාරිතාවක් ද, ඩීසල් භාවිතයෙන් මෙගාවොට් 213ක ධාරිතාවක් ද උත්පාදනය කෙරේ. දෙවැනි අදියර යටතේ වාෂ්ප ටර්බයිනය (Steam Turbine) මඟින් ක්‍රියාත්මක වන අතර, LNG භාවිතයෙන් මෙගාවොට් 107ක ධාරිතාවක් සහ ඩීසල් භාවිතයෙන් මෙගාවොට් 105ක ධාරිතාවක් නිපදවනු ඇත.
ආරම්භක අදියරේදී බලාගාරයේ මෙහෙයුම් කටයුතු ඩීසල් ඉන්ධන මඟින් සිදු කිරීමට නියමිත වුවද, අදාළ ජාතික යටිතල පහසුකම් ස්ථාපිත වූ වහාම ප්‍රති-වාෂ්පීකෘත ද්‍රවීකෘත ස්වාභාවික වායු (RLNG) වෙත මාරුවීමට හැකිවන පරිදි බලාගාරය සැලසුම් කර ඇත. එමඟින් පරිසර හිතකාමි සහ පිරිසුදු ඉන්ධන භාවිතයක් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසේ.
දැනට ක්‍රියාත්මක වන මෙගාවොට් 300ක ‘යුගදනවි’ සහ මෙගාවොට් 350ක ‘සෝබදනවි’ බලාගාර සමඟ ‘සහස්දනවි’ බලාගාරය එක්වීමෙන් පසු, කෙරවලපිටිය පරිශ්‍රයෙන් පමණක් ජාතික පද්ධතියට එක්වන මුළු විදුලි ධාරිතාව ආසන්න වශයෙන් මෙගාවොට් 1,000ක් (ගිගාවොට් 1ක්) දක්වා ඉහළ යනු ඇත. සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ජාතික පද්ධතියට වැඩි වශයෙන් එක්වන විට පද්ධතියේ සංඛ්‍යාතය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙවැනි වේගවත් ප්‍රතිචාර දැක්විය හැකි ඒකාබද්ධ චක්‍රිය බලාගාර අත්‍යවශ්‍ය සාධකයක් වන බව බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති.
විදුලි උත්පාදනයට අමතරව ඉංජිනේරු, ඉදිකිරීම්, ප්‍රසම්පාදන, මෙහෙයුම් සහ සැපයුම් දාම ක්ෂේත්‍ර ඔස්සේ මෙරට ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබාදීමටත්, දේශීය ශ්‍රම බළකායේ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීමටත් මෙම ව්‍යාපෘතිය ඉවහල් වන බව සහස්දනවි සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.