සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමි ශ්‍රී ලංකිකයන්ට වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම (visa exemption scheme) නැවත වරක් ලබාදීම සම්බන්ධයෙන් තායිලන්ත රජයේ අවධානය යොමු වෙයි.
නිල සංචාරයක් සඳහා තායිලන්තය බලා ගිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් සහ තායිලන්තයේ වැඩ බලන විදේශ ඇමැති සරුන් චරොඑන්සුවන් (Sarun Charoensuwan) යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ශ්‍රී ලාංකික සාමාන්‍ය ගමන් බලපත් හිමියන් සඳහා වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම (visa exemption scheme) යළි ලැබෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරට අතර එහිදී එකඟතාව පළ වී තිබේ. මෙහිදී සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ (visa exemption) කටයුතු කඩිනම් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමුව ඇත.
මෙලෙස යෝජිත වීසා නිදහස් කිරීම මඟින් දෙරට අතර ගමන් බිමන් සහ සංචාරක ව්‍යාපාරය පහසු වන අතරම, ජනතාව අතර පවතින සබඳතා ප්‍රවර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරයි. මීට අමතරව, දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, ශ්‍රම ගමනාගමනය, අධ්‍යාපන, සාගර ආරක්ෂාව සහ සංස්කෘතික හුවමාරු යන ක්ෂේත්රයන්හි සහයෝගිතාව පුළුල් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී ඇත.
දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය යහපත උදෙසා ශ්‍රී ලංකා-තායිලන්ත සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමත්, ප්‍රායෝගික සහයෝගිතා ක්ෂේත්‍ර ඉදිරියට ගෙන යාමත් දෙපාර්ශ්වයම නැවත තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට තායිලන්තයට ඇතුළු වීම සඳහා මෙතෙක් පැවති වීසා රහිත (visa-free) සංචාරක අවස්ථාව පෙරේදා (15) සිට තවදුරටත් හිමි නොවන බවට පසුගිය දා තායිලන්තය නිවේදනය කළේය. ඒ අනුව, එදින සිට තායිලන්තය බලා පිටත්ව යන සියලුම ශ්‍රී ලාංකිකයන් ගමන ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන්ම තායි වීසා බලපත්‍රයක් ලබාගත යුතු බවට ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය පැවසීය.
එම රෙගුලාසි යටතේ, සියලුම වීසා අයදුම්පත් තායිලන්තයේ නිල ඊ-වීසා (e-Visa) පද්ධතිය හරහා අන්තර්ජාලයෙන් පමණක් ඉදිරිපත් කළ යුතු වන අතර පෞද්ගලිකව තානාපති කාර්යාලයට පැමිණ හෝ භෞතික ලියකියවිලි (physical form) මඟින් ඉදිරිපත් කරන කිසිදු වීසා අයදුම්පතක් මින් ඉදිරියට භාර නොගන්නා බවද තානාපති කාර්යාලය විසින් අවධාරණය කෙරිණි.
සංචාරක වීසා (Tourist Visa) අයදුම්පත සැකසීමේදී අවශ්‍ය සියලුම ලියකියවිලි නිසි පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කළ දින සිට අයදුම්පත සැකසීමට සාමාන්‍යයෙන් වැඩ කරන දින 3 සිට 7 දක්වා කාලයක් ගතවන අතර සංක්‍රමණික නොවන වීසා (Non-Immigrant Visa) සහ ඩීටීවී (Destination Thailand Visa – DTV) අයදුම්පත් සැකසීම සඳහා මීට වඩා වැඩි කාලයක් ගතවිය හැකි බවද ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ පදිංචිව සිටින වලංගු රැකියා හෝ පදිංචි බලපත්‍ර සහිත විදේශීය පුරවැසියන් සඳහා අයදුම්පත් සැකසීමට අමතර කාලයක් අවශ්‍ය විය හැකි බවද එම තානාපති කාර්යාලය පවසයි.