නාරාහේන්පිට RMV ළඟ තැරැව්කරුවන් හා ගැට කපන්නන් ඉවත් කරයි – නිතීවිරෝධී රථගාලත් පොලිසියෙන් ඉවත් කරයි

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය අසල රැදී සිටින තැරව්කරුවන් හා ගැට කපන්නන් පොලිසිය යොදවා ඉවත් කිරීමට මෝටර් රථ කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පියවර ගෙන තිබේ.

එමෙන්ම දෙපාර්තමේන්තු පරිශ්‍රය ඉදිරිපිට මාර්ගයේ නීති විරෝධී අන්දමින් දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය රථ ගාල ද පොලිසිය ඊයේ (16 වැනිදා) ඉවත්කර ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සේවා සපයා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට හිංසාවන අන්දමින් තැරව්කරුවන්ගෙන් පීඩා එල්ල වී තිබුණු අතර තැරව්කරුවන් යැයි කියාගන්නා ඇතැම් ගැටකපන්නන් සේවා සපයා ගැනීමට පැමිණි පුද්ගලයන්ගේ ලිපි ලේඛන ආදිය මෙන්ම මුදල් ද සොරකම් කර පලායෑමේ සිදුවීම් පසුගිය කාලය පුරාම වාර්තා වී තිබිණි.

මේ හේතුවෙන් මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා පොලිසියෙන් කරන ලද ඉල්ලීමට අනුව සතියේ වැඩ කරන සෑම දිනකම නාරාහේන්පිට පොලිසියේ නිලධාරින් දෙදෙනකු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු පරිශ්‍රය අවට පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා රාජකාරියේ යෙදවීමටත් වංචනික පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් උසස් පොලිස් නිලධාරින් උපදෙස් දී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී ඔහු පැවසුවේ නව කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් අනුව ප්‍රධාන කාර්යාලයේ ආපනශාලාව අසල පවත්වාගෙන ගිය වෙළෙඳ කුටි ද ඉවත් කළ බවත් කිසිදු පිටස්තර පුද්ගලයකුට පරිශ්‍රය තුළට පැමිණ අකටයුතුකම්වල නිරතවීමට නොහැකි වන පරිදි නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *