වසර 25කට වැඩි කාලයක් පුරා රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරුවන්ට නොගෙවා තිබූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර ගෙන ඇති අතර, සේවකයන් 10,000කට වැඩි පිරිසකට සහන සැලසීමේ වැඩසටහන මහනුවරදී පසුගියදා ආරම්භ කෙරිණි.
මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස මහනුවර උතුර, මහනුවර දකුණ, මාතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාල සහ ගම්පොළ, නාවලපිටිය උප දිස්ත්‍රික් කම්කරු කාර්යාල බලප්‍රදේශවල පිහිටි වතුවල සේවකයන් 308 දෙනකු සඳහා රුපියල් මිලියන 79කට අධික හිඟ පාරිතෝෂික මුදල් ලබා දීම සිදු කෙරිණි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවය කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඉතිරි අදාළ සේවකයන් සඳහා වන පාරිතෝෂික, හිඟ සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවක භාරකාර අරමුදල් (ETF) ගෙවීමට අවශ්‍ය කටයුතු ද කම්කරු අමාත්‍යාංශය මඟින් දැනටමත් සිදු කරමින් පවතී. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව, කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
අර්ධ රාජ්‍ය ආයතන 10ක සේවකයන්ගේ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වෙන් කරන ලද මුදලින් රුපියල් මිලියන 4,500කට අධික මුදලක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC), ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) සහ ඇල්කඩුව වැවිලි සමාගම (EPL) යන රාජ්‍ය වැවිලි ආයතන තුනෙහි විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු 10,000කට අධික සේවකයන් පිරිසකට හිමිවීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.