දිට්වා ආපදාවෙන් හගුරන්කෙත ජෙන්ස්ලන්ඩ් ජනතාවට රජයෙන් දුන් මුදල් සමග තමන්ගේ සල්ලිත් දාලා තට්ටු දෙකේ නිවාස හදයි

දිට්වා ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක හගුරන්කෙත ජෙන්ස්ලන්ඩ් නිවාස ව්‍යාපෘතියේදී මහජන මුදල් නිසි පරිදි භාවිත කරමින් තම අවශ්‍යතාවලට ගැළපෙන තිරසාර නිවාස ඉදිකිරීමට ප්‍රතිලාභීන් කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ රජය විසින් අවම වශයෙන් වර්ග අඩි 650ක පමණ නිවසක් ඉදිකිරීමට අපේක්ෂා කළද, රජයෙන් ලබාදෙන ප්‍රතිපාදන සමඟ තමන්ගේ දායකත්වයද එක් කර ගනිමින් ඇතැම් ප්‍රතිලාභීන් දෙමහල් නිවාස පවා ඉදිකරමින් සිටින බවයි.

දිට්වා ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අද (16) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

දිට්වා ආපදාව හේතුවෙන් නිවාස අහිමි වූ හගුරන්කෙත සහ මතුරට ප්‍රදේශවල පවුල් 54ක් සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිකිරීම සිදු කෙරේ.

නිවාස ඉදිකිරීමේදී රජයෙන් ලබාදෙන ප්‍රතිපාදන පමණක් නොව, ප්‍රතිලාභීන්ගේ දායකත්වයද යොදා ගනිමින් වඩාත් පහසුකම් සහිත හා දිගුකාලීනව භාවිත කළ හැකි නිවාස ඉදිකිරීමට ඔවුන් කටයුතු කර තිබීම විශේෂත්වයක් බවද සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපති ලයනල් ගුණරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *