අදානිගේ මන්නාරම – පූනකරින් සුළං බලාගාර දෙකට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය දෙන්න බෑ කියයි

අවම පිරිවැය සහ තාක්ෂණික ගැලපුම් තක්සේරු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට ලංකා විදුලි බල මණ්ඩලය මෙතෙක් අපොහොසත්ව ඇති නිසා, අදානි සමාගම මන්නාරම සහ පූනකරින් යන ප්‍රදේශවල දියත් කිරීමට නියමිත මෙගවොට් 480 ක සුළං බල ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීම මහජන උපයෝගීතා කොමිසම මගින් ප්‍රතික්ෂේප කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව, විදුලි බල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නම්, විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කළ යුතුය.

විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අදාල ඉල්ලීම ඉදිරිපත් කර ඇතත්, ඒ සමග මහජන උපයෝගීතා කොමිසමට ලබා දිය යුතු වාර්තා රැසක් ලබා දීම මග හැර තිබේ.

එම වාර්තා අතර, ඉන්දීය රජය සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම සහ එවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව කැබිනට් මණ්ඩලයට ලබා දුන් අවසරය ඇතුළත් ය.

ඊට අමතරව, කිලිනොච්චියේ සිට හබරණ දක්වා වූ සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමට අදාල ප්‍රසම්පාදන විස්තර ද විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ලබා දී නැත.

එමෙන්ම, මන්නාරමේ ඉදිකිරීමට නියමිත මෙගවොට් පනහක සුළං විදුලි බලාගාරය සදහා කැදවූ ටෙන්ඩරයට ලැබී ඇති ලන්සු වටිනාකම් පිළිබද විස්තරද විදුලිබල මණ්ඩලය මෙතෙක් මහජන උපයෝගීතා කොමිසමට ලබා දී නැත.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කර ඇති පාරිසරික බලපෑමට අදාල විස්තර පවා මෙතෙක් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර නැති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *