ඇමරිකානු ජිම්නාස්ටික් ශූරී ටියානා සුමනසේකර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කරයි

ප්‍රකට ශ්‍රී ලාංකික-ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ටියානා සුමනසේකර (Tiana Sumanasekera) මින් ඉදිරියට ජාත්‍යන්තර තරඟාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කර තිබේ. ඇය මෙම තීරණය හැඳින්වූයේ තම ක්‍රීඩා ජීවිතයේ අතිශය ආඩම්බර මෙන්ම සංවේදී සන්ධිස්ථානයක් ලෙසයි.

තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ටියානා සඳහන් කර ඇත්තේ, කුඩා කල සිටම තමන් ජිම්නාස්ටික් ක්‍රීඩාවට දැඩි ඇලුම්කමක් දැක්වූ බවයි. පසුගිය වසර පහක කාලය පුරා අමෙරිකානු ජාතික කණ්ඩායම (Team USA) නියෝජනය කිරීමට ලැබීම තමන්ට මහත් ගෞරවයක් වූ බවත්, එම ගමනේදී තමන්ට ලැබුණු සියලු අවස්ථාවන් පිළිබඳව කෘතඥ වන බවත් ඇය පවසා ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වැදීම තම ජීවිතයේ “සැබෑ වූ සිහිනයක්” වනු ඇතැයි පැවසූ ඇය, මෙමඟින් තමන්ට තම උරුමයට උපහාර දැක්වීමට මෙන්ම ශ්‍රී ලංකාව සහ සමස්ත දකුණු ආසියානු කලාපය තුළ ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි ඇති අවධානය තවදුරටත් ඉහළ නැංවීමට දායක විය හැකි බව ද ප්‍රකාශ කළාය.

“ශ්‍රී ලාංකික-ඇමරිකානුවෙකු ලෙස, මගේ හදවත සැමවිටම මේ රටවල් දෙකටම අයිති වීම ගැන මම ආඩම්බර වෙනවා,” යැයි පවසමින් ඇය තමන්ට සහයෝගය දැක්වූ සැමට ස්තූතිය පුද කර ඇති අතර ඉදිරි ගමන පිළිබඳව දැඩි බලාපොරොත්තුවෙන් පසුවන බවද සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *