විදේශ රටවල සැඟව සිටින අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු සියලුම අපරාධකරුවන් මෙරටට ගෙන ඒම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන් එක්ව අවශ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඒ සඳහා අදාළ රටවල පවතින නීති රාමුවට අනුකූලව සහ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු හරහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විවිධ රටවල පවතින නීති එකිනෙකට වෙනස් වන අතර, සිංගප්පූරුව සහ අෙමරිකා එක්සත් ජනපදය වැනි රටවල පවතින නීතිමය තත්ත්වයන් හමුවේ චෝදනා ලත් පුද්ගලයන් සෘජුවම ගෙන ඒමට නොහැකි බැවින්, අදාළ රටවල නීති හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේද අනුගමනය කරමින් සිටින බව ද ඇමැතිවරයා කීවේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද කීය.
“සමාජ මාධ්‍ය හා විවිධ ක්ෂේත්‍ර තුළ කියවෙන පරිදි රෙඩ් නෝටිස් (Red Notice) හෝ බ්ලූ නෝටිස් (Blue Notice) නිකුත් කිරීම නොව අවශ්‍ය නීතිමය පිළිවෙළ අප ගනිමින් තිබෙනවා. දේශපාලනයට සම්බන්ධ අය ද පාතාලයට සම්බන්ධ අය ද යන්න අදාළ වන්නේ නැහැ. රටේ නීතියට අනුව අපරාධයක් කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටිනවා. මේ වන විටත් දිනපතාම එවැනි පුද්ගලයන් මෙරටට ගෙන ඒමේ කටයුතු සිදු වෙනවා.
සුරේෂ් සලේ, ගෝඨාභය රාජපක්ෂ සහ පිල්ලෙයාන් ඇතුළු පාර්ශ්ව හා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් පිළිබඳව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන, නඩු පැවරීම් සහ සාධාරණ තීන්දු ලබාදීමේ ක්‍රියාවලිය මේ වන විට වේගවත් කර ඇති අතර, ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වූ, අනුබල දුන් හෝ පහසුකම් සැලසූ කිසිදු පාර්ශ්වයකට ගැලවීමක් ලැබෙන්නේ නැහැ.”
වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත තාවකාලිකව අත්හිටුවනවා
‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය’ පිළිබඳ පනත් කෙටුම්පත තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. මාධ්‍ය සංවිධාන කිහිපයක් විසින් පළ කරන ලද විරෝධතා හේතුවෙන් මෙම පියවර ගත්තා. මෙය ආණ්ඩුවේ වුවමනාවකට නොව, 2019 වසරේ සිට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉල්ලීමක් මත ඉදිරියට ගෙන ආ ක්‍රියාවලියක්.
මෙම ආයතනයේ මූලික කටයුතු ගොඩනැඟීම සඳහා 2025 වසර වෙනුවෙන් රුපියල් මිලියන 20ක මුදලක් භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබුණා. ජනමාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීම, නව ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඇති කිරීම සහ වරලත් ආයතනයක් පිහිටුවීම යන පියවර මාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසාම සිදු කරනවා. මාධ්‍ය සංවිධාන සහ වෘත්තීය සමිති අතර එකඟතාවක් ඇති වූ පසුව එම පනත නැවත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.“
සුනඛයන් සඳහා ‘බලු බද්දක්’ පැනවීමේ ආරංචිය අසත්‍යයි
“සුනඛයන් සඳහා අලුතින් ‘බලු බද්දක්’ පැනවීමට යන බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍යයි. සිදුවන්නේ ජලභීතිකා රෝගයේ භයානකත්වය අඩු කිරීම සඳහා සුනඛයන් ලියාපදිංචි කිරීම සහ නිසි පරිදි එන්නත් කිරීම පමණයි.
රට තුළින් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. නිදැල්ලේ හැසිරෙන සතුන් හේතුවෙන් සිදු වන හදිසි අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, එය සංචාරක ව්‍යාපාරයට ද බලපෑමක් එල්ල කර තිබෙනවා. එබැවින් ඉදිරි වසර කිහිපය තුළ මෙම ගැටලුවට සම්පූර්ණ විසඳුමක් ලබා දීම සඳහා සුනඛයන් ලියාපදිංචි කිරීම සහ එන්නත්කරණය නිසි ලෙස සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.”