2024.10.20 දින අංක GP502 ගුවන්යානයෙන් ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණි ආමේනියානු ජාතික Grigoryan Marin නම් තරුණ කාන්තාවගේ ගමන් මල්ල අස්ථානගත වී ඇති බව ගුවන් තොටු පොළ බලධාරීන්ට දන්වා ඇත.
බලධාරීන් විසින් ගුවන් තොටු පොළ පොලීසියට දන්වන ලද අතර පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ මූලිකත්වයෙන් ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර මෙම ගමන් බෑගය වෙනත් අයෙකු විසින් රැගෙන ගිය බව හඳුනාගෙන ඇත.
එම ගුවන් යානයේම පැමිණි බදුල්ල ප්‍රදේශයේ දමිල කාන්තාවක් එය රැගෙන ගොස් තිබූ අතර මහත් පරිශ්‍රමයක් දරා ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියා මාර්ග සඳහා ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මීගමුව අධිකරණය ගුවන් මගී කාන්තාවට ලක්ෂ 06 ක වන්දියක් ගෙවන ලෙසට මේ සොරකම කළ කාන්තාවට නියෝග කර ඇත. එය දෙවරක දී ගෙවා ඇති බව ගුවන් තොටුපල සංචාරක පොලීසියේ ස්ථානාධිපතිතුමා සඳහන් කර තිබේ.
මේ තරම් කාර්යක්ෂමව මේ සොරා ගැනීම පිලිබඳව ක්‍රියාත්මක වී තමාට බෑගය ඉක්මනින් ලබා දීමට කටයුතු කිරීම ගැන ගුවන්තොටුපල සංචාරක පොලිසීයට හා කාර්ය මණ්ඩලයට මේ විදේශීය කාන්තාව විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් ස්තූති කර ඇත.
නැවත තම රට බලා යන්නට පෙර අද නිකුත් කළ මේ වීඩියෝවේදී තවත් විශේෂ ස්තූතියක් පුද කරමින් සිද්ධිය වූ සැනින් ක්‍රියාත්මක වී අදාල නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා නියෝග කළ ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතාව සහ එතුමාගේ පෞද්ගලික ලේකම්තුමාව ද පසසා ඇත.