ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශයේ නගර කිහිපයක දැඩි ඉන්ධන හිඟයක් හටගෙන ඇති බව වාර්තා වේ. පවතින සැපයුම් අර්බුදය හමුවේ රොබින්වේල් (Robinvale) සහ හැටා (Hattah) වැනි ප්‍රධාන නගරවල ඉන්ධන පිරවුම්හල් සම්පූර්ණයෙන්ම පාහේ හිස්ව පවතින බව ප්‍රාදේශීය ආරංචි මාර්ග තහවුරු කරයි.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් එම ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු දැඩි අර්බුදයකට ලක්ව තිබේ. විශේෂයෙන්ම මේ දිනවල මිදි සහ ආමන්ඩ් අස්වැන්න නෙළන ප්‍රධාන කාලසීමාව වන බැවින්, අස්වනු නෙළන යන්ත්‍ර ක්‍රියා කරවීමට අවශ්‍ය ඩීසල් නොමැති වීමෙන් තම අස්වැන්න විනාශ වී යාමේ අවදානමක් පවතින බව ගොවීන් පවසති.
ඉන්ධන පවතින ඇතැම් ස්ථානවල පාරිභෝගිකයන් සඳහා දැඩි සීමා පනවා ඇති අතර, එක් වාහනයකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඩොලර් 50කට සීමා කර ඇත. මේ අතර ඇතැම් ප්‍රදේශවල ඩීසල් ලීටරයක මිල ඩොලර් 3.10 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.