පෞරාණිකත්වය විනාශ කරමින් බසවක්කුලම වැව් බැම්ම කාපට් කරයි

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වැව ලෙස සැලකෙ අනුරාධපුර බසවක්කුලම වැවේ පෞරාණිකත්වය විනාශ කරමින් වැව් බැම්ම මත අවසරයකින් තොරව කාපට් අතුරා සැකසීමේ කටයුතු වහාම නවතා දමන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ.

රජයේ ව්‍යාපෘතියක් වන රට පුරා කිලෝමීටර් 1500ක් මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරයේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් මෙහි වැඩ ආරම්භ කර තිබේ. වැව් බැම්ම පලු කර කොටසක කාපට් දැමීමට කටයුතු කරමින් තිබියදී මේ වන විට මෙම කාපට් කිරීම නවතා දැමීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේ අවසරයකින් තොරව කාපට් කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවට තමාට තොරතුරු වාර්තා වූ වහාම එහි වැඩ නවතා දැමූ බවයි. එහෙත් එහි කොටසක ඒ බී සී අතුරා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. පුරාවිද්‍යා නිලධාරිනියකගේ අනුදැනුම මත මෙහි ඉදිකිරීම් සිදුකරන බවට ලද තොරතුරු වාර්තා වු බැවින් ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතාගෙන් කරුණු විමසීය. එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ පුරාවිද්‍යා නිලධාරිනියකට එසේ අවසර දිය නොහැකි බවයි. අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ජී. ආර්. ජයතිලක මහතා සඳහන් කරන්නේ මේ පිළිබඳව සොයා බැලූ පසු මේ සඳහා පුරාවිද්‍යාවෙන් අවසර පතක් ඉදිරිපත් කර ඇතත් මේ වනතෙක් අවසර දී නොමැති බවයි. අනුරාධපුරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ නිරන්තරයෙන් මෙම වැව අසල ගිමන් හැරීමට හා ස්නනාය සඳහා තෝරා ගනිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *