වෛද්‍ය පවුලේ කෝටි ගණනක දේපොළ සසුනට පූජා කරයි

එංගලන්තයේ ධච් ආයුර්වේද ආයතනයේ හා මාලබේ ධච් ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය චන්න ජිනසේන මහතාට හා එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු මහත්මියට අයත් පන්නිපිටිය පැලැන්වත්ත ඉදිගහදෙණිය පාරේ පිහිටි පර්චස් දහයක භූමිය සහ අංග සම්පූර්ණ දෙමහල් නිවෙස සසුනට පූජා කිරීම පසුගියදා, පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පණ්ඩිත වත්තේගම ශ්‍රී ධම්මාවාස හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඇසළ පෝයදා සිදු වුහ.

එම ස්ථානය පන්නිපිටිය පැලැන්වත්ත ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙස නම් කර තිබේ.

උඩරට අමරපුර මහා නිකායේ ශාසන ජෝතික පාර්ශ්වයේ අනුනායක පණ්ඩිත මාදිපොළ ධම්මික හිමියන් පූජා ඔප්පුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය චන්න ජිනසේන මහතා එම ඔප්පුව මහා නාහිමියන් වෙත පිළිගන්වන ලදි.

ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සසුනට පූජා කළ එම දිනයේදීම වෛද්‍ය යුවළ ඇතුළු දායක පින්වතුන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති දර්ශනපති මැදිරිගිරියේ සාසනරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය විෂයෙහි වස් ආරාධනා කිරීමේ පින්කම ද සිදු කෙරිණි.

වෛද්‍ය චන්න ජිනසේන මහතාගේ බිරිය වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු මහත්මියගේ මියගිය පත්මා චන්ද්‍රලතා මවට පිං පිණිස මාතර කඹුරුගොඩ කොටවිල ප්‍රදේශයේ කෝටි ගණනක මුදලක් වැය කොට ‘පත්මා අරණ’ නමින් ආරාමයක් ඉදිකොට එය 2022 වසරේදී මෙහෙණි සසුනට පූජා කර තිබීම විශේෂත්වයකි.

මේ පිළිබඳව ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දර්ශනපති මැදිරිගිරියේ සාසනරතන හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ,

මම මැදිරිගිරිය මණ්ඩලගිරි මහා විද්‍යාලයේ උගන්වන කාලයේ එහි විදුහල්පතිවරයාට වැලඳී තිබූ හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ගන්න තලංගම ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ආවා. ඒ මීට වසර 10 පමණ පෙර. ඒ අතරෙදි වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය චන්න ජිනසේන මහතා සහ එතුමාගේ බිරිය වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු යන වෛද්‍ය යුවළ හඳුනා ගන්න ලැබුණා.

පසුව ඔවුන් දෙපළගේ දැඩි ආශාවක් තිබුණා පොලොන්නරුව ප්‍රදේශයේ වකුගඩු රෝගී පවුල්වල ළමුන්ට උදව් කරන්න. ඒ සඳහා මා මැදිහත්වී ළමුන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරදී වසර පහක සිට පාසල් උපකරණ, නිල ඇඳුම් සහ සෑම අලුත් අවුරුද්දකදීම අලුත් ඇඳුම් ලබාදීමේ සත්කාර රැසක් කරගෙන එනවා. ඊට අමතරව කවුඩුල්ල ජාතික පාසලේ අඩුපාඩුවක් පැවැති බුද්ධ මන්දිරයක් මෙම යුවළගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළා.

මේසා විශාල සත්කාර රැසක් සිදු කරමින් එන අතරතුරෙදී වෛද්‍ය යුවළ මාතර කඹුරුගොඩ කොටවිල ප්‍රදේශයේ ඉඩමක් මිලයට ගෙන එහි අංග සම්පූර්ණ විහාරාරාංග ඉදිකොට වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු මහත්මියගේ මියගිය මව පද්මා චන්ද්‍රලතා මහත්මියට පින් පිණිස ‘පත්මා අරණ’ නමින් මෙහෙණි ආරාමයක් ඉදිකොට එය මෙහෙණි සසුනට පූජා කිරීමේ මහා පින්කමක් ද ඉන්පසුව මෙවන් ආගමික හා සාමාජයීය කටයුතු සිදු කරමින් සිටියදී එම වෛද්‍ය යුවළගේ ආරාධනයෙන් මා 2023 වසරේදී ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා එංගලන්තයට වැඩම කළා. ඒ සිටින අතරෙදී විදේශ රාජ්‍යයක පදිංචි මාගේ දායක පවුලකට අවශ්‍යව තිබුණා මා වෙනුවෙන් කොළඹ ප්‍රදේශයෙන් පන්සලක් හදල දෙන්න. ඒ සඳහා ස්ථානයක් සොයාදෙන ලෙස ඔවුන් මා හා පවසා තිබුණා.

පසුගිය අප්‍රේල් මාසයෙ දිනක් වෛද්‍ය චන්න ජිනසේන මහතා මා හා දුරකතනයෙන් සම්බන්ධ වූ අවස්ථාවක ඒ බව දන්වා සිටියදී එක්වරම එතුමා ‘අපේ හාමුදුරුවනේ වෙන කොහේවත් ඉඩම් හොයන්න ඕනෑ නෑ, පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ අංග සම්පූර්ණ දෙමහල් නිවෙසක් සමඟ පර්චස් විසිදෙකක ඉඩමක් මට තියෙනවා , ඒ ඉඩම මම අපේ හාමුදුරුවන්ට පූජා කරන්නම්’ යනුවෙන් කියා සිටියා.

ඔන්න ඔය විදිහට තමයි මේ ස්ථානය ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දක්වා ආ ගමන් මග සිදු වුණේ. පසුව මාගේ ගුරුදේවෝත්තම පොලොන්නරුව දිසාවේ ප්‍රධාන සංඝනායක මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති මැදිරිගිරියේ අස්සජි නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි ඉකුත් ඇසළ පුර පසළොස්වක පෝයදා උත්සවාකාරයෙන් මෙම භූමිය සසුනට පූජා කිරීමේ මහා පින්කම පැවැත්වුණා.

මෙම වෛද්‍ය යුවළගේ මාපියන් නමින් කෝටි ගණනක් වටිනා ස්ථාන දෙකක් සසුනට පූජා කර තිබීම විශේෂත්වයකි.

මෙම ස්ථානයේ දාන ශීල භාවනා ආදී විවිධ ආගමික වැඩසටහන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල දිළිඳු විහාරස්ථාන දියුණු කිරීමට හා එම ප්‍රදේශවල පවුල්වල ජන ජීවිතය නඟා සිටුවීමට අවශ්‍ය සහන සැලසීම මෙම ස්ථානය මඟින් සිදු කරන බව පවසන ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දර්ශනපති මැදිරිගිරියේ සාසනරතන හිමියන් ඒ සඳහා සම්බන්ධ වීමට කැමති පින්වතුන් 071- 8171733 අංකයට අමතා සම්බන්ධ වන ලෙස ද ලෝකවාසී බෞද්ධ ජනතාවගේන් ඉල්ලා සිටිනවා.

සසුනට දේපොළ පූජා කිරීමේ මෙම පින්කම සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සාසන ජෝතික පාර්ශ්වයේ මහනායක මහෝපාධ්‍යාය වත්තේගම ධම්මාවාස මහා නාහිමි, උඩරට ශාසන ජෝතික නිකායේ පොලොන්නරුව දිසාවේ ප්‍රධාන සංඝනායක මැදිරිගිරියේ අස්සජි නාහිමි, ශ්‍රී සරභඤ්ඤ විශාරද මාපලගම බුද්ධසිරි ගාලු කෝරලයේ ඇතුළු හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක නාහිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික උපකුලපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමි, ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය පන්විල ශ්‍රී සෝරත නාහිමි, වෛද්‍ය චන්න ජිනසේන මහතා, බිරිය වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු, පුත් ඩේව් ජිනසේන මහතා හා ඥාතීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *