සිය රැවුලේ ආධාරයෙන් කිලෝග්‍රෑම් 1500ක් බර වාහනයක් මීටර් 100ක දුරක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් තැබූ යාපනයේ කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි සෙල්ලයියා තිරුචෙල්වම් නමැති 57 හැවිරිදි පුද්ගලයා සිය කන් දෙකේ ආධාරයෙන් එවැනිම වාහනයක් පළමු වාර්තාවට දුරකට ඇද ක්‍රීඩා සමාජවල උපහාරයට පෙරේදා (02) ලක්විය.
ඔහු ප්‍රකාශ කළේ මේ හැකියාව සමඟින් ද ඔහු ඉදිරි කාලයේදී ගිනස් වාර්තාවක් තබන බවයි. යාපනයේ වඩමාරච්චි දකුණ ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙකු වන මොහු මුලින්ම විනෝදයට කෝවිල් උත්සවවලදී වාහන කටෙන් හා රැවුලේ ආධාරයෙන් ඇද ජනතාව ප්‍රබෝධවත් කළේය.
පසුව යාපනයේ නිලධාරීන් කීපදෙනකු එකතු වී රැවුලේ ආධාරයෙන් වාහනයක් ඇද ගිනස් වාර්තාවක් තැබීමට ඔහුට ඉඩකඩ සලසා දීමෙන් පසුව සෙල්ලයියා තිරුචෙල්වම් ජනප්‍රියභාවයට පත්විය. යාපනයේදී පමණක් නොව ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයකදී ද ඉන්දියාවේදී ද මොහු වාහන රැවුලෙන් ඇද දස්කම් දක්වා විවිධ සම්මාන ලබා ගත් පුද්ගලයෙකි. මෙවර කන් දෙකේ ආධාරයෙන් යාපනය – මහනුවර ඒ-9 මාර්ගයේ කොඩිකාමම්, නක්ෂත්‍ර මහල් ඉදිරිපිටදී කිලෝග්‍රෑම් 1500 ක් බර වාහනයක් මීටර් 100ක් දුරට ඇදගෙන ගොස් තම හැකියාව හා ජවය ප්‍රදර්ශනය කළ අතර ඔහුට ඒ වෙනුවෙන් යාපනයේ ක්‍රීඩා සමාජවලින් සම්මාන හා මුදල් ත්‍යාග ද ලබා දෙන ලදි. ඔහුගේ මෙම ක්‍රියාවන්ට පූර්ණ සහයෝගය ලබා දෙන්නේ ඔහුගේ 16 හැවිරිදි දියණියකි.