හිටපු ඇමැති පුත්තු 10ක් ගැන අල්ලස් කොමිසම සහ CID ය විමර්ශන අරඹයි

අල්ලස්  දූෂණ සහ විවිධ   අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති හිටපු ඇමතිවරුන්ගේ  පුත්තු දස   දෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා  විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ  කිහිපයක්  පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙයට අමතරව පාතාලය සමග සබඳතා පැවැත්වූ ඇමැතිවරුන්ගේ පුත්තු කිහිප දෙනකු සම්බන්ධයෙන්ද විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ අය විදේශයන්ට  පලා යෑම වැළැක්වීම සඳහාද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තාවේ.

විවිධ දූෂණ චෝදනා සහ  පාතාලය සමඟ ගනුදෙනු පැවැත්වීම  සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන්  ඇතුළු දේශපාලනඥයන්ගේ  පුත්තු තිදෙනෙක්  දැනටමත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. අල්ලස්  චෝදනාවක් සම්බන්ධයෙන් මෑතදී අත්අඩංගුවට  ගැනුණේ හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වන රඛිත  රාජපක්ෂ මහතාය.

බොහොමයක් ඇමති පුත්තු පසුගිය රජයන් කාලයේදී   සිය පියවරුන්ගේ  බලය පාවිච්චි කරමින්  විවිධ  දූෂණ සහ අක්‍රමිකතා කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී  ඇත. සමහර සිද්ධීන් වලට හිටපු ඇමති පියවරුන් සෘජුවම උදව් කර ඇති බවටද  තොරතුරු අනාවරණයවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අනුව එම හිටපු ඇමතිවරුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

මේ අය සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි ඒකරාශී කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීම් කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

සමහර ඇමති පුත්තු විවිධ දූෂණ සහ අක්‍රමිකතා කර ඇතැයි පැවසෙන්නේ  සිය පියවරුන් වූ හිටපු  ඇමතිවරුන්ගේ අනුග්‍රහයෙන් විවිධ තනතුරු ලබාගෙන කටයුතු කරමින් සිටි කාලවලදී බව පැවසේ.

මීට අමතරව විවිධ දූෂණ චෝදනා එල්ල වී ඇති හිටපු ඇමතිවරුන්ගේ ඥාතීන් පිරිසක් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති  බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Source – Lankadeepa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *