නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍ර භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන්, ක්‍රිෂ් (Krrish) පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අවස්ථා තුනකදී රුපියල් මිලියන 70ක (ලක්ෂ 700ක) අල්ලසක් ලබාදුන් බවට චෝදනාවක් යටතේ, ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට කොමිසමට අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇති අතර, ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අද (25) පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය (වැලිකඩ) වෙත ගොස් නාමල් රාජපක්ෂ මහතාගෙන් අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙය, එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 1,000ක (ලක්ෂ දහසක) අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත මේ වන විටත් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වන දෙවන ප්‍රධාන අල්ලස් චෝදනාවයි.