දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න සහ හිටපු සභාපති උපාලි ලියනගේට එරෙහිව අල්ලස් කොමිසම විසින් පනවා ඇති නඩුවේ විමර්ශන කටයුතු අවසන් බැවින් අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දැන්වුවා.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙලෙස අධිකරණයට දන්වා සිටියා.
සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා සිටියේ, සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව කරන ලද විමර්ශන කටයුතු මේ වන විට අවසන් බැවින් මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත බවයි.
සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස දන්වා සිටියා.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හට චෝදනා ගොනු කර තිබුණා.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදාහැර තිබෙනවා.
සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 4 වැනිදා යළි කැඳවිමට නියමිතයි.