සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නමැත්තා බන්ධනාගාරයෙන් මාරු කර, විමර්ශනවලින් නිදහස් කර දීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු අද (2026.06.25) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාධ්‍ය නිවේදන අංක 2026/070 යටතේ නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙසේය:
- නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ – හිටපු අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා.
- චරිත් වසන්ත කුමාර අබේසිංහ – සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක.
- වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග – සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙක්.
එල්ල වී ඇති චෝදනා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් නියෝග මත රඳවා සිටි “හරක් කටා” ගේ ජීවිතය ආරක්ෂා කර දීම (ඝාතනය කිරීම වැළැක්වීම), ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට යොමු කර දීම සහ විමර්ශන කටයුතු වලින් නිදහස් කර දීම වෙනුවෙන් මෙම ජාවාරම සිදුව ඇත.
ඒ සඳහා 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී “හරක් කටා” ගේ බිරිඳ වන මධුෂිකා මධුවන්තී නමැත්තියගෙන් රුපියල් ලක්ෂ 5000 ක (කෝටි 50 ක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ. පසුව එම මුදල රුපියල් ලක්ෂ 2000 ක් (කෝටි 20 ක්) දක්වා අඩු කර, ඉන් අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් ඉහත සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.