බුදුසරණයි කියා බෝඩ්ගසාගෙන අම්මයි දුවයි ජංගම දුරකතන සොරකමේ ගිය අය පොලිසිය අල්ලයි – ඇත්තම කතාව එළියට

ජංගම දුරකථන සහ විදුලි උපකරණ සොරකමේ යන මවක සහ දියණියක සැකපිට දඹුල්ල නගරයේදී ඊයේ (07 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ පදිංචි තුරුණු වියේ පසුවන දියණියක් සහ මැදිවියේ පසුවන මවක් බව පොලිසිය කියයි.

මෙම මව සහ දියණිය කුඩා පිරිමි ළමයකු ද සමග දඹුල්ල නගර මධ්‍යයේ ජංගම දුරකථන අලෙවිසලකට ඊයේ (07 වැනිදා) පැමිණ දුරකථන මිල සහ ජංගම දුරකථන උපාංග මිල විමසන අතරතුරදී ඉතා සූක්ෂම ලෙස මෙම දියණිය ජංගම දුරකථනයක් සොරකම් කොට ඇයගේ ගමන් මල්ලේ දමා ගන්නා බවත් එම අවස්ථාවේදීම මව වෙළෙඳසලේම තවත් ජංගම දුරකථන උපකරණයක් ඉතා සූක්ෂම ලෙස සොරාගෙන යතුරුපැදි හිස් වැසුමේ බහගන්නා බවත් පොලිසිය කියයි.

මෙම මව සහ දියණිය වෙළෙඳසලට පැමිණ පිටව ගොස් විනාඩි කිහිපයක් ගත වෙද්දී සැකයක් ඇතිවී වෙළෙඳසලේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී ඔවුන් භාණ්ඩ සොරකම් කරන අයුරු එහි පටිගත වී තිබී ඇත.

පසුව නගරයේ තවත් වෙළෙඳසලකට ගමන් කිරීමට සූදානම්න් සිටියදී සැකකාරියන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මව සහ දියණිය රැකියාවක් ලෙස විවිධ නගරවලට ගොස් විදුලි උපාංග ජංගම දුරකථන සහ විවිධ භාණ්ඩ සොරාගන්නා බව අනාවරණය වී ඇත.

මෙවන විටත් අවස්ථා ගණනාවක ගලේවෙල සහ අවට පොලිස් ස්ථානවලින් මෙම මව සහ දියණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා ඉදිරිපත් කොට තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

දියණියත් මවත් තවත් කුඩා පිරිමි දරුවකුත් බුදුසරණයි යන වැකියද සඳහන් යතුරු පැදියකින් පැමිණ මෙම සොරකම් කරන බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

මෙම මව සහ දියණිය දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *