සියදිවි නසාගැනීමට හේතු වූ මානසික පීඩා ඇති කළ පුද්ගලයන්ට දණ්ඩ නීති සංග්‍රහයට අනුව මරණ දඬුවම ලබාදිය හැකි බව වෛද්‍ය, නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසයි.
පෙම්සබඳතා කඩවීම වැනි පෞද්ගලික හේතුන් මත සිදුවන සියදිවි නසාගැනීම් සඳහා නොව නවක වදය, පිරිසක් ඉදිරියේ ලැජ්ජාවට පත්කිරීම වැනි අවස්ථාවන්වලදී ඇති වන තදබල මානසික අසමතුලිතතාව හේතුවෙන් සිදු කර ගන්නා ජීවිත හානි සඳහා (social influenced suicides) එයට අනුබල දුන්න පුද්ගලයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ කටයුතු කළ හැකි බවද ඒ මහතා කීය.
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි නසාගෙන තිබෙන බවත් ගුරුවරයෙකු විසින් අනෙක් සිසුවියන් ඉදිරියේ ඇයව ලැජ්ජාවට පත්වන ආකාරයට බැන වැදීම මෙයට හේතුවී තිබෙන බවට වාර්තා වන බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙයට සති කීපයකට ඉහතදී නවක වදයට ලක්වූ බව කියන සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවකු ද මෙලෙස සියදිවි නසාගත් බවත් කොළඹ පාසල් දැරියක් ද උඩුමහලකින් පැන සියදිවි නසාගත් බවත් සුබසිංහ මහතා කීවේය.
පෞද්ගලික පන්තියකදී ගුරුවරයකු අපහාසයකට ලක් කිරීම පාසල් සිසුවිය සියදිවි නසාගැනීමට මුල් වූ බව වාර්තා වන්නේ යැයිද හෙතෙම පැවසුවේය.
මරණ පරීක්ෂණවලදී මෙවන් මරණවලට හේතුව ලෙස බොහෝවිට සඳහන් වන්නේ සියදිවි නසාගැනීමක් ලෙසින් යැයි ද එවිට ඒ සඳහා වගකිවයුතු එකම පුද්ගලයා බවට පත්වන්නේ මියගිය පුද්ගලයා වන බැවින් වෙනත් කිසිවකුට එහි වගකීම නොපැවරෙන බවත් ඒ මහතා කීය.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නන් අවසානයේ පවසන්නේ මානසික අවපීඩනය නැතහොත් විශාදය හේතුවෙන් මේ අය සියදිවි නසාගන්නා බව යැයි ද සුබසිංහ මහතා පැවසුවේය.
සියදිවි නසාගන්නා අය අවසානයේදී ඒ සඳහා පෙලඹෙන්නේ මානසික අවපීඩනය නිසා බවට සැකයක් නොමැති නමුත් එය මනස තුළින් අභ්‍යන්තරව ඇතිවූ රෝගී තත්ත්වයක් නොව බාහිර හේතුවක් මඟින් ඇති කළ තත්ත්වයක් නම් ඒ තත්ත්වය ඇති කළ පුද්ගලයන්ට දඬුවමක් තිබිය යුතු යැයි ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
‘යම් තැනැත්තකු සිය පණ හානිකරගනු ලැබුවහොත් එකී සිය පණ හානිකර ගැනීමේ ක්‍රියාවට අනුබල දෙන තැනැත්තකුට මරණ දඬුවමින් දඬුවම් කළ යුතුය’ ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තියේ සඳහන් බවද ඒ මහතා කීය.
මේ අනුව සියදිවි නසාගත් පුද්ගලයා ඒ තත්ත්වයට පත්කිරීමට හේතු වූ කරුණු මත යම්කිසි පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් එයට දායක වී තිබේ නම්, සියදිවි හානිකර ගැනීම සඳහා අනුමිත පෙලඹවීමක් (constructive abets) සිදු කළ බව ඔප්පු කිරීමෙන් ඔවුන්ට ද මරණ දඬුවමින් දඬුවම් කළ හැකි බව පැහැදිලි බවත් මෙම මරණ සම්බන්ධව විමර්ශන සිදු කරන පොලීසිය එවන් කරුණු අනාවරණය වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ලබාගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.