කැනඩාවේ සරසවියක දර්ශනපති උපාධිය හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුවිය පිළිකාවකින් මිය යයි

කැනඩා කොන්කෝඩියා සරසවියේ ගණිත අංශයෙන් දර්ශනපති පශ්චාත් උපාධිය හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුවිය දරුණු පිළිකාවකින් මිය ගොස් ඇති බව පවුලේ ඥාතීහු පවසති.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ කුරුණෑගල, දොරටියාව, මල්ලවපිටිය පදිංචිව සිටි 29 හැවිරිදි ඩබ්ලිව්.එම්. එමාෂා විජේසිංහ නැමති විවාහක උපාධි අපේක්ෂිකා සිසුවියකි.

ඇය කැනඩා කොන්කෝඩියා සරසවියේ තම උපාධිය හදාරමින් සිටින අතරතුරදී උදරයේ ඇතිවූ දරුණු පිළිකාවක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බව ද කියයි. මේ සිසුවිය තම සැමියා සමඟ ශ්‍රී ලංකාවට පැමිණ මෙරටදී ද පිළිකාවට ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවත් එසේ සිටියදී මෙලෙස මරණයට පත්ව ඇති බව කියයි.

වයඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර ඇය පේරාදෙණිය සරසවියේ උපාධිධාරිනියකි. ඇය පේරාදෙණිය සරසවියේ කථීකාචාර්යවරියක් ලෙස සේවය කරමින් සිටියදී වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා කැනඩාවට ගොස් ඇති බව කියයි.

ඇගේ සැමියා පෞද්ගලික දුරකතන සමාගමක සිවිල් ඉංජිනේරුවරයකු වන අතර ඇයට බාල සොහොයුරා ද සිවිල් ඉංජිනේරුවරයෙකි.

ඇගේ පියා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස කටයුතු කරන අතර මව ඉබ්බාගමුව ජාතික පාසලේ කෘෂිකර්ම ආචාර්යවරියකි.

ගණිත අංශයෙන් දර්ශනපති උපාධිය හැදෑරීමට කැනඩාවට තම සැමියා සමඟ ගොස් එහි රැඳී සිට ඇති අතර ඒ වන විටත් ඇය පිළිකාවකින් බැට කමින් සිටි බව ඇගේ පියා මහත් වේදනාවෙන් පවසයි.

2023 වසරේ කැනඩාවේ කොන්කෝඩියා සරසවියට ඇතුළත් වී ඇති අමාෂා තම රෝගී තත්ත්වය උස්සන්න වීමත් සමඟ නැවත මේ වසර මැද දී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කැනඩා සරසවියේ තම උපාධියට සම්බන්ධ පර්යේෂණයක් සඳහා ඇය ඉදිරිපත් කළ බැංකු කටයුතු පහසු කිරීමේ මෘදුකාංගය සාර්ථකව ඉදිරිපත් කරමින් ඒ සඳහා තම සුවිශේෂ දායකත්වය දැක්වීමට මහත් වෙහෙසක් ගෙන කටයුතු කර ඇති අතර තම උපාධියේ අධ්‍යයන කටයුතු සඳහා මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ දක්ෂ සිසුවියකි. එලෙස තම කටයුතු මෙහෙයවමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණි.

තම අධ්‍යාපන කටයුතුවලදී සුවිශේෂ දස්කම් රැසක් දක්වා ඇති මේ උපාධි අපේක්ෂිකාව තම දැනුම දියුණු කිරීමට මහත් කැපවීමක් කරමින් තිබූ බව කියයි.

ඇයගේ දේහය මේ වන විට කුරුණෑගල, දොරටියාව, මල්ලවපිටිය නි‍ෙවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු කුරුණෑගල දී සිදු කිරීමට නියමිතය.

පේරාදෙණිය සරසවියේ මෙන්ම කැනඩා කොන්කෝඩියා සරසවියේත් තම අභිමානය මැනවින් විදහාපාමින් සිටි මේ සුන්දර යුවතිය කා අතරත් හිත දිනාගත් තරුණියක් වූ බව ඇගේ මිතුරු මිතුරියෝ පවසති. ඇගේ මරණය සැමියා, මව, පියා හා සොයුරා හා පවුලේ ඥාතීන් දැඩි කම්පනයට පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *