මීගමුව බන්ධනාගාර ගැටුම අවස්ථාවේ එහි රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරියකුට අමානුෂික ලෙස පහරදී මරා දැමීමටත් පෙර එම නිලධාරියාගේ ලිංගේන්ද්‍රිය කපා ඉවත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බන්ධනාගාරය තුළ සිටි රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී මේ බව අනාවරණය වී තිබේ.
මෙම සාහසික ක්‍රියාව සිදු කළ රැඳවියන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
බන්ධනාගාර ගැටුමේදී නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා රැඳවියන් පාවිච්චි කළ තියුණු ආයුධ, පොලු මුගුරු ඇතුළු විවිධ උපකරණ 1000 කට අධික ප්‍රමාණයක් ද විමර්ශන නිලධාරීන් විසින් මීගමුව බන්ධනාගාරය තුළ තිබියදී සොයාගෙන ඇත.
මෙහිදී සොයාගත් තියුණු ආයුධ වැඩි ප්‍රමාණයක් බන්ධනාගාර කුස්සියේ තිබූ ඒවා වන අතර ඇතැම් ආයුධ රැඳවියන් විසින් සකස් කරගත් ඒවා බවද පොලිසිය පවසයි.
ගැටුම සිදුවන අවස්ථාවේ බන්ධනාගාරය තුළ සිටි සියලුම රැඳවියන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීම මේ දිනවල සිදු කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
බන්ධනාගාර නිලධාරීන් 8 දෙනකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තවත් නිලධාරීන් 30 කට ආසන්න පිරිසකට තුවාල සිදු කළ රැඳවියන් 300 කට ආසන්න පිරිසක් මේ වනවිට හඳුනාගෙන සිටිති.
බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කළ රැඳවියන්ට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පැවරෙනු ඇත.