හිටපු ඇමැති පාඨලීට එරෙ­හි නඩුවේ සාක්ෂි වෙනස් කළැයි පොලිස් නිල­ධා­රීන් 4කට සිතාසි නිකුත් කරයි

රාජ­ගි­රියේ රිය අන­තුර සම්බ­න්ධ­යෙන් පැමි­ණිල්ල දුන් කට­උ­ත්ත­රය යම්කිසි අය­කුගේ බල­පෑම මත වෙන­ස්කර සට­හන් කර­ගත් බව කියන පොලිස් නිල­ධා­රීන් සිව් දෙන­කුට ඒ පිළි­බඳ සාක්ෂි දීම සඳහා ලබන සැප්තැ­ම්බර් 01දා පෙනී සිටින ලෙස කොළඹ මහා­ධි­ක­ර­ණය අව­වාද කළේය.

කොළඹ රාජ­ගි­රිය ප්‍රදේ­ශ­යේදී රිය අන­තු­රක් කර එහි තොර­තුරු වසන් කිරීම සම්බ­න්ධ­යෙන් හිටපු ඇමැති පාඨලී චම්පික රණ­වක ඇතුළු තිදෙ­න­කුට එරෙ­හිව පවරා ඇති නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු රශ්මික සිංග­ප්පුලි මහතා මෙම නියෝ­ගය දුන්නේය.

ඒ අනුව පැමි­ණිල්ලේ 7, 8, 9, 10 වැනි සාක්ෂි­ක­රු­වන් ලෙස නම් කර ඇති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඒ.බී.එස්. පෙරේරා, පොලිස් පරී­ක්ෂක රුක්මාල්, පොලිස් පරී­ක්ෂක ප්‍රියන්ත සහ කොස්තා­පල් සුරේෂ්ට මීළඟ නඩු දින අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටීන ලෙස නියෝග කෙරිණි.

මෙයට අම­ත­රව විත්ති­ක­රුගේ වාහ­නය ලුහු­බැඳි මෝටර් බයි­සි­ක­ලයේ පිටු­පස ගමන් ගත් බව කියන දැනට විදේ­ශ­ග­තව සිටින පැමි­ණිල්ලේ 2 වැනි සාක්ෂි­කරු වන සිද්ධික් මොහො­මඩ් සුෆා­යිස් යන අයගේ සාක්ෂිය මාර්ග­ග­තව ගැනී­මට නියම විය.

මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා ඉදි­රියේ නඩුව කැඳවූ අව­ස්ථාවේ ඇප මත මුදා­හැර සිටින විත්ති­ක­රුවෝ අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටි­යහ.

පැමි­ණිල්ලේ 3 වැනි සාක්ෂි­කරු වන හර්ෂ බණ්ඩාර තිල­ක­සිරි යන අය­ගෙන් විත්තිය වෙනු­වෙන් පෙනී සිටින ජනා­ධි­පති නීතිඥ නිහාල් ජය­මාන්න මහතා දෙවැනි දින­ටත් හරස් ප්‍රශ්න විම­සීය. අන­තුර සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් දීමට සාක්ෂි­කරු වසර තුන­හ­මා­රක පමණ කාල­යක් ප්‍රමා­ද­වීම සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි.

එයට පිළි­තුරු දෙමින් සාක්ෂි­කරු කියා සිටියේ, පළමු විත්ති­කාර හිටපු ඇමැ­ති­ව­රයා කෙරෙහි තිබූ බිය නිසා තමා එතෙක් නිහ­ඬව සිටි බවයි. කෙසේ වෙතත්, 2019 දෙසැ­ම්බර් මාස­යේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට දුන් මූලික ප්‍රකා­ශයේ එවැනි බියක් පිළි­බ­ඳව සඳ­හන් කර නොමැති බව විත්තිය පෙන්වා දුන්නේය.

විත්ති­ක­රුගේ පෞද්ග­ලික සහ­කරු තන­තු­රින් ඉවත් වීමෙන් පසු හිටපු ඇමැ­ති­ව­රයා තවත් පිරි­සක් සමඟ තමා බල­හ­ත්කා­ර­යෙන් පැහැ­ර­ගෙන ‌ගොස් අංගොඩ මාන­සික රෝහ­ලට ඇතු­ළත් කළ බව සාක්ෂි­කරු කියා සිටි­යේය.

එහි වෛද්‍ය­ව­රුන්ට එරෙ­හිව සාක්ෂි­ක­රුගේ පියා වන පණ්ඩිත සිරි තිල­ක­සිරි මහතා වෛද්‍ය සභා­වට කළ පැමි­ණි­ල්ලක් කළ බවත්, එය මහා­චාර්ය නීල­මනී ද සිල්වා, මහා­චාර්ය නාරද වර්ණ­සූ­රිය සහ වෛද්‍ය උපුල් ගුණ­සේ­කර යන මහ­ත්ව­රුන් විසින් විභාග කළ බවත් විත්තිය කළ විම­සී­මට පිළි­තුරු දෙමින් අධි­ක­ර­ණය හමුවේ කරුණු අනා­ව­ර­ණය කළේය.

රියැ­දුරු තුසිත කුමාර පොලි­සි­යට ඉදි­රි­පත් කිරීම සම්බ­න්ධ­යෙන් සාක්ෂි­කරු දුන් මූලික සාක්ෂිය පිළි­බඳ විත්තිය දීර්ඝ වශ­යෙන් හරස් ප්‍රශ්න විම­සන ලදි. අන­තුර සිදු වූ අව­ස්ථාවේ රියැ­දුරු තුසිත ඇමැති බිරිය සහ විත්ති­ක­රුගේ දිය­ණි­යන් ඔවුන් ජීවත් වූ හෝමා­ගම නිවෙස කරා ගෙන යමින් සිටි බව සාක්ෂි­කරු පවසා සිටි­යේය. එම ගමන නවතා වහාම පොලී­සි­යට පැමි­ණෙන ලෙස තමා ඔහු‌ට දැනුම් දුන් බව හරස් ප්‍රශ්න­ය­කට උත්තර දෙමින් සාක්ෂි­කරු කියා සිටි­යේය.

මෙලෙස දරු­වන් මඟ දමා එම සිදු­විය නොහැකි දෙයක් බවට විත්තියේ නීති­ඥ­ව­රයා පෙන්වා දුන්නේය. ඇමැති බිරිය හා දරු­වන් මහ­මඟ දමා ඒමක් සිදු නොවූ බවත්, රියැ­දුරා පොලී­සි­යට යොමු­කර ඔවුන් කුලී රථ­ය­කින් නිවෙ­සට ගිය බවත් සාක්ෂි­කරු පිළි­තුරු ලෙස කියා සිටි­යේය. අන­තුර සිදු වූ දින කාල වේලා සම්බ­න්ධ­යෙන් සාක්ෂි­ක­රුගේ ප්‍රකා­ශ­වල පර­ස්ප­රතා විත්තිය පෙන්වා දෙන ලදි. සාක්ෂි­කරු පව­සන පරිදි ඔහු ඇමැ­ති­ව­ර­යාගේ නිවෙ­සට යන විට රාත්‍රී 11:00 පමණ වී තිබූ බවට ඔහු පොලි­ස්ප­ති­ව­ර­යාට දී ඇති ප්‍රකා­ශයේ සඳ­හන් කර තිබූ බව විත්තිය පෙන්වා දුන්නේය. එහෙත් පොලිස් වාර්තා­ව­ලට අනුව අන­තුර සිදු වී ඇත්තේ රාත්‍රී 10:20ත් 10:25ත් අතර කාලයේ බව විත්තියේ නීති­ඥ­ව­රයා කියා සිටි­යේය. සාක්ෂි­ක­රුගේ ප්‍රකා­ශය අනුව ඇමැ­ති­ව­ර­යාගේ ඇම­තුම ලැබී ඇත්තේ ඔවුන් ඇවි­දින මං තීරුවේ වට­යක් ගොස් ඊළඟ වටයේ කාලක් පමණ ගමන් කර­මින් සිටි­ය­දීය. එම මූලික සාක්ෂිය ඇසු­රින් විත්තිය සාක්ෂි­ක­රුට ව්‍යායාම සඳහා වට­යක් ඇවි­දී­මට යන කාලය පිළි­බඳ ප්‍රශ්න කළේය.

වෛද්‍ය උප­දෙස් මත සෙමින් ඇවි­දින පුද්ග­ල­ය­කුට කිලෝ­මී­ටර් තුනක වට­යක් යෑමට සාක්ෂි­කරු පව­සන විනාඩි 15ක කාලය ප්‍රමා­ණ­වත් නොවන බව විත්තිය තර්ක කර සිටි­යේය.

සාක්ෂි­කරු මුලින් පවසා තිබුණේ තමා තනි­වම ඇමැ­ති­ව­ර­යාගේ නිවෙ­සට ගිය බව වුවත්, පසුව අල්විස් ද එහි පැමිණි බව පව­ස­මින් සාක්ෂිය වෙනස් කිරී­මට උත්සාහ කළ බව විත්තිය පෙන්වා දුන්නේය.

2019 වස­රේදී දේශ­පා­ලන බලය වෙන­ස්වී­මෙන් පසු ඇමැ­ති­ව­රයා කෙරෙහි ඇතිවූ පෞද්ග­ලික වෛරය සහ ද්වේෂය නිසා ගොතන ලද අසත්‍ය සාක්ෂි ලබා දෙන බවට විත්තිය කළ චෝද­නාව සාක්ෂි­කරු ප්‍රති­ක්ෂේප කර සිටි­යේය. අන­තු­රුව 2 වැනි විත්ති­ක­රුගේ නීති­ඥ­යාද සාක්ෂි­ක­රු­ගෙන් හරස් ප්‍රශ්න විමසූ අතර 3 වැනි විත්ති­ක­රුගේ නීති­ඥයා හරස් ප්‍රශ්න නොවි­ම­සීය.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් යොහාන් අබේ­වි­ක්‍රම මහතා පැමි­ණිල්ල වෙනු­වෙන් කරුණු මෙහෙ­යවූ අතර නඩු විභා­ගය තව­දු­ර­ටත් පැවැත්වේ.

ජනා­ධි­ප­ති­ව­රුන් වන නීතිඥ නිහාල් ජය­මාන්න, අනිල් ද සිල්වා සහ මෛත්‍රී ගුණ­රත්න යන මහ­ත්වරු විත්තිය වෙනු­වෙන් පෙනී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *