රටින් ඩොලර් පිට කිරීමට House Of Fashion හිමිකරු හවුල් බව රහස් පොලිසිය අධිකරණයට දන්වයි

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරටින් ඇමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන්ට යැවීමේ මහා පරිමාණ ජාවාරමකට ‘හවුස් ඔෆ් ෆැෂන්’ ආයතනය ද සම්බන්ධ බව රහස් පොලිසිය (23) අධිකරණය හමුවේ අනාවරණය කළේය.

මෙම මහා පරිමාණ මූල්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ ප්‍රමුඛ සමාගම් 21ක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර, ඉන් සමාගම් 06ක සම්බන්ධතාවය මේ වන විටත් තහවුරු කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දුන්නේය.

කොළඹ කොටුව ප්‍රදේශයේ A.Y. Investment නැමැති ආයතනයක අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවූ බව කියන ෆෙස්ලි මොහොමඩ් නැමැති සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ විදේශීය ඩොලර් නෝට්ටු තොගයක්, රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී රථයක් සහ රන් භාණ්ඩ තොගයක් රහස් පොලිසිය භාරයට ගෙන ඇත.

අදාළ ජාවාරමට සම්බන්ධ සමාගම් 36ක බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, අවස්ථා 10,156කදී විදේශයන්ට මුදල් යවා ඇති බවයි. එහෙත් එම මුදල්වලට අදාළව මෙරටට ගෙන්වන ලද කිසිදු භාණ්ඩයක් පිළිබඳව රේගු වාර්තාවල සටහන් වී නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *