රාජ්‍ය සේවකයන් අවුරුදු 60න් පසුවත් රැකියාවේ තබාගැනීමෙන් ආධ්‍යාත්මික දියුණුවට ඇති කාලය අහිමි වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා.
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ඉක්මවා 70 හෝ 75 දක්වා දීර්ඝ කිරීමට සිදුවන සංවාද පිළිබඳව උන්වහන්සේ පෙන්වා දෙන්නේ, දීර්ඝ කාලයක් ලෞකික ධනය සෙවීම සඳහාම කාලය මිඩංගු කිරීමෙන් මිනිසාට සිය ආධ්‍යාත්මික දියුණුව සලසා ගැනීමට ඇති කාලය අහිමි වන බවයි.
ඓතිහාසික වශයෙන් රට පාලනය කළ රජවරුන්ට මහනායක හිමිවරුන් සහ සංඝරාජයන් වහන්සේලා අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කිරීම නිසා මෙරට “ධර්මදීපයක්” සහ “පෙරදිග ධාන්‍යාගාරයක්” බවට පත්වූ බව උන්වහන්සේ පවසනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,
“රට පාලනය කරන රටේ ජනාධිපති සහ ජනාධිපතිටත් ඉහළින් අවවාද අනුශාසනා කරන මහා නායක මාහිමිපාණන් වහන්සේලා නැත්නම් සංඝ රාජයන් වහන්සේලා මේ රටේ ඉතිහසයේ ඉදලම රජවරුන්ට අවශ්‍ය උපදෙස්, අවවාද අනුශාසනා දීපු නිසා තමයි රට ධර්මදීපයක් බවට පත්වුනේ. ඒ වගේම අර්ථයෙන් ධර්මයෙන් දෙකෙන්ම අනුශාසනා කරපු නිසා තමයි පෙරදිග ධාන්‍යාගාරය බවට මේ රට පත්වුනේ. මෑතක දැන් අපය දැනගන්න ලැබෙනවා 60න් විශ්‍රාමයන එක වෙනස් කරනවා කියලා කථිකාවක් කෙරෙන බව. ධර්මයට අනුව හිතනවා නම් එදා අවුරුදු 120ක් විතර මිනිස්සු ජීවත් වුනා. ඒකෙන් අඩක් කියන්නේ 60යි.හිතලා බලන්න මිනිස්සු ජීවත් වෙන්නේ දශක 10ක් ජීවත් වෙන්නෙත් නෑ.අවුරුදු 70,80,90 වෙනකොට ඉලක්කම් දෙකෙන්ම මේ ලෝකේ හැරදාලා යනවා. ඒ නිසා 60න් එහාට විශ්‍රාම නොගෙන 70/75 වෙනකන් රජයේ රැකියාම කර කර ඉදලා කවද්ද ලෞකික ධනය අත්හැර ආධ්‍යාත්මික ධනය හොයාගන්න මේ මිනිහට කාලයක් තිබෙනවද?”
Source – News19