ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රධාන ලේකම්වරයා ලෙස තමන් පිළිගන්නා ලෙස දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීම බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය අද (28) ප්රතික්ෂේප කර තිබේ.
දයාසිරි ජයසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ නඩුවෙන්, තමන් පක්ෂයේ ලේකම්වරයා ලෙස පිළිගන්නා ලෙසත්, දුමින්ද දිසානායක මහතා ලේකම් ධුරයේ කටයුතු කිරීම සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති ධුරය දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබුණි.
එම ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් ද මීට පෙර ප්රතික්ෂේප කර තිබූ අතර, එම නියෝගය ප්රතික්ෂේප කර තමන් ඉල්ලා සිටින සහන ලබාදෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණි.
අද එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති ධුරය දැරීම සහ දුමින්ද දිසානායක මහතා ලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ද අධිකරණය ප්රතික්ෂේප කර තිබේ.
මේ අතර, අදාළ නඩුවේ මූලික විභාගය 2027 ජනවාරි 08 වැනිදා පැවැත්වීමට නියම කර ඇත.
ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් අද නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.