පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කිසිදු බාධාවකින් තොරව, සාධාරණව, අපක්ෂපාතීව හා නීත්‍යනුකූලව අවසානය දක්වා ඉදිරියට ගෙන යා යුතු බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළේය.
අගරදගුරු මැදුරේ ඊයේ (8) පැවැති මාධ්‍ය හමුවකදී පියතුමා ප්‍රකාශ කළේ පාස්කු විමර්ශනවලට දේශපාලනඥයන් හෝ දේශපාලන පක්ෂ කිසිදු ආකාරයකින් මැදිහත් නොවිය යුතු බවයි.
මෙම විමර්ශන දේශපාලනීකරණය වී ඇති බවට ඇතැමුන් චෝදනා කළද, මේ වන විට තමන්ට පෙනී යන්නේ විමර්ශන අපක්ෂපාතීව සිදුවෙමින් පවතින බව යැයිද එබැවින් විමර්ශන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් සත්‍යය සහ යුක්තිය ඉටු වන තෙක් කටයුතු කළ යුතු යැයිද ඔහු අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පවුල්වලට යුක්තිය ඉටු කිරීම රටේ වගකීමක් බව සඳහන් කළ පියතුමා, විමර්ශන නොමඟ යැවීමට හෝ ඒවාට බාධා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් වින්දිතයන්ට කරන බරපතළ අසාධාරණයක් බව ද හෙතෙම පැවැසීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පියතුමා මෙසේද කීවේය.
පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි වගකිවයුතු ආයතන විද්‍යානුකූලව විමර්ශන සිදුකරන බැවින්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සහ නිදහසේ තම රාජකාරිය ඉටු කිරීමට ඉඩ ලබාදීම සමාජයේ සියලු දෙනාගේ වගකීමයි. ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීම අත්‍යවශ්‍යයි.
මා විසින් ගොනුකර ඇති අපහාස නඩුව සහ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම අතර කිසිදු සම්බන්ධයක් නැහැ. අපහාස නඩුවේ මුල් අවස්ථාවකදී සුරේෂ් සලේ මහතා තමන් හමුවී සමථයකට පත්වීම පිළිබඳ සාකච්ඡා කළා. එහි දී තමන් කළ ප්‍රකාශයකින් ඔහුගේ නම ඉවත් කරන්නේ නම් නඩුව සමථයකට පත් කිරීමට සූදානම් බව ඔහු පැවසූවා. එහෙත් තමන් කළ ප්‍රකාශ සත්‍ය බවට අදටත් විශ්වාස කරන බැවින් එය ඉවත් කර ගැනීමට හෝ නඩුව සමථයකට පත් කිරීමට මා එකඟ වුණේ නැහැ. සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ විමර්ශනවල දී අනාවරණය වූ සාක්ෂි සහ තොරතුරු මතයි. එය අපහාස නඩුවට අදාළ කාරණාවක් නොවේ. නඩුවේ කටයුතු මේ වන විටත් අධිකරණය ඉදිරියේ පවතිනවා. පාස්කු ප්‍රහාරයට හේතු වූයේ අන්තවාදී ඉස්ලාම්වාදී මතවාදය වෙන්න පුළුවන්. එම ප්‍රහාරය සැලසුම් කිරීම, පහසුකම් සැපයීම, ආරක්ෂාව සැලසීම හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ වූ පුද්ගලයන් සිටියේද යන්න සොයා බැලීම සඳහා විමර්ශන අත්‍යවශ්‍යයි. යම් පුද්ගලයකු රටට සේවය කළ අයකු වෙන්න පුළුවන්. ඔහුට එරෙහිව අපරාධයක් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින්නේ නම් නීතියට අනුව විමර්ශනයට ලක්විය යුතුයි. ඔහුගේ අතීත සේවාවන් හේතුවෙන් විමර්ශන නතර කරන්න බැහැ.
සුරේෂ් සලේ යුද්ධය නිම කරන්න ත්‍රස්තවාදය නැති කරන්න යම්කිසි කාර්යභාරයක් ඉටු කර තිබෙනවා නම් අපි එයට ගරු කරනවා. ඒකෙන් කියන්නෑ එතනින් එහාට තිෙයන අපරාධ ඒකෙන් වහන්න පුළුවන් කියලා. කිසිම රණවිරුවකුට අයිතියක් නැහැ මිනි මරන්න. කිසිම රණවිරුවකුට අයිතියක් නැහැ අපරාධ කරන්න. හොරකම් කරන්න. මංකොල්ල කන්න.
ඒ පුද්ගලයා රට වෙනුවෙන් යමක් කරලා තියෙනවා නම් ඒකට අපි ගරු කරනවා. ඒකට උපහාරය අපි දෙනවා. හැබැයි ඔහු අපරාධයක් කරලා තියෙනවා නම් ඒකටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒකට රණවිරුවෙක්ද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. වධ හිංසනයට ලක් කළාද නැද්ද කියන එක අධිකරණය ඉදිරියේ තිබෙන කාරණයක්.
අපි කවුරුත් වධ හිංසාව හොඳයි කියන්නේ නැහැ. වධ හිංසා කියන කරන එක වැරදියි කියන මතයේ අපි ඉන්නවා. නමුත් වධ හිංසාව සිදුවෙලා තියෙනවද නැද්ද කියලා අධිකරණය තීරණයක් ගත යුතුයි.
වෛද්‍යවරු පස්දෙනෙක් ඔහුව පරීක්ෂා කළා කියලා කිව්වට එක වෛද්‍යවරයයි ඒ වාර්තාවට අත්සන් කරලා තියෙන්නේ. මේ වෛද්‍ය වාර්තාව කොයිතරම් දුරට පිළිගන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳ ප්‍රශ්න කරලා තියෙනවා උසාවිය. ඒ නිසා උසාවියම තීන්දුවක් දිය යුතුයි. එහෙම නැත්නම් සාමාන්‍ය සිද්ධ වෙන ක්‍රියාවලිය සිදුවෙලා තියෙනවා. ඕනෑම රැඳවූවෙක්, සිරකරුවෙක් වෙනුවෙන් කරන ක්‍රියාවලිය සිදුවෙලා තියෙනවා. මොකක්ද මේ වධ හිංසාව කියන්නේ කියන එක අධිකරණයේ තීරණය කළ යුතුයි.