දුෂ්කර කාලයකින් පසු අද ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටිනවා – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

දුෂ්කර වසර කිහිපයකින් පසුව අද ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මෙවැනි තත්ත්වයට පත්වූ වෙනත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් යථා තත්ත්වයට පත් වූ බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව කීවේ 2025 සහ ඉදිරිය සඳහා වන මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි. මේ අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රමුඛ බැංකු හා මූල්‍යායතන රැසක ප්‍රධානීහු සහභාගි වී සිටියහ.

කම්පනවලට ඔරොත්තු දීමට හැකිවන පරිදි ස්වාරක්ෂක ගොඩනැඟීම සහ ආර්ථික හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට හානියක් නොවන පරිදි ආර්ථික වර්ධනය වේගවත් කිරීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය මීළඟ පියවර බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

ශ්‍රී ලංකා ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් වුවද එම ස්ථාවරත්වය මැදි හා දිගුකාලීනව පවත්වා ගැනීම, අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රටෙහි ඇති කැපවීම මත පදනම් වන බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී ආර්ථිකය එහි විභව හැකියාවට ළඟාවීමට සහාය වෙමින් දේශීය මිල සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය ආරක්ෂා කිරීමේ කාර්යභාරය මහ බැංකුව විසින් අඛණ්ඩව ඉටුකරන බවද මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ මහතා තවදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *