නව හැවිරිදි කුඩා පිරිමි දරුවකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාවට වරදකරු කරමින් මහාධිකරණය විසින් පූජ්‍ය උඩුවිල සුජාත හිමියන්ට පනවා තිබූ වසර 10 බරපතල වැඩසහිත සිරදඬුවම අභියාචනාධිකරණය විසින් ස්ථිර කර තිබෙනවා.
විත්තිකාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම සහමුලින්ම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අභියාචනාධිකරණ විනිසුරු බී. ශෂී මහේන්ද්‍රන් සහ විනිසුරු අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණාත්මක නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙහිදී අභියාචක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් මෙන්ඩිස් මහතා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ අකිල දල්පධාතු මහතා පෙනී සිටියා.
විවෘත අධිකරණයේදී මෙම තීන්දුව කියවා ලද්දේ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින්.
නඩු වාර්තාවලට අනුව මෙම බරපතල අපරාධය සිදුව ඇත්තේ මීට වසර 17කට පෙර, එනම් 2009 වසරේදීයි.
එම වකවානුවේදී පූජ්‍ය උඩුවිල සුජාත හිමියන් අදාළ ආරණ්‍ය සේනාසනයක ප්‍රධාන ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරමින් සිට තිබෙනවා. .
මෙම අපයෝජනයට ලක්ව ඇත්තේ එවකට පාසලේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ, වයස අවුරුදු 09 පමණ වූ කුඩා පිරිමි දරුවෙක්.
එම දරුවාගේ මව දැඩි ලෙස අසනීප වී සිටීම හේතුවෙන් දරුවා තාවකාලිකව ඔහුගේ ලොකු අම්මා සමඟ ජීවත් වීමට ගොස් ඇති අතර එහිදී ලොකු අම්මාගේ නිවස අසල පිහිටි පන්සලේ දහම් පාසලට දරුවා අධ්‍යාපනය ලැබීමට ගොස් තිබෙනවා.
එහිදී පන්සලේ වැඩසිටි වෙනත් ස්වාමීන් වහන්සේ නමකගේ මඟපෙන්වීම සහ පවුලේ පැවති දැඩි ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන, මෙම දරුවාව මහණ කිරීම සඳහා පවුලේ අය තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව, මහණ කිරීමට පෙර සූදානම් වීමේ කටයුතු සඳහා දරුවා අදාළ ආරණ්‍ය සේනාසනයේ නතර කර ඇති අතර දරුවා එලෙස සේනාසනයේ නේවාසිකව රැඳී සිටියදී මෙම බරපතල අපරාධය සිදුව ඇති බව අනාවරණය වුණා.
පළමු සිදුවීම 2009 අගෝස්තු මස 21 වැනිදා සිදුව ඇති අතර දරුවා සේනාසනයේ කාමරයක රැඳී සිටියදී එතැනට පැමිණි සුජාත හිමියන් දරුවා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර තිබෙනවා.
එම අවස්ථාවේදී දරාගත නොහැකි වේදනාවෙන් ඇඬූ කුඩා දරුවා, “මට රිදෙනවා, ඕක නවත්වන්න” යැයි කියමින් මෙම ක්‍රියාව නතර කරන ලෙස හඬමින් ආයචනා කර තිබෙනවා.
දිගින් දිගටම දරුවා කල වැඳවැටීමෙන් සහ හැඬීමෙන් පසු විත්තිකාර හිමියන් එම ක්‍රියාව නතර කර තඇති බව අභියාචනාධිකරණ තීන්දුවේදි අනාවරණය වුණා.
ඉන් අනතුරුව දරුවා දැඩි බියක් හේතුවෙන් සහ තමන්ගේ මව අසනීපයෙන් සිටි නිසා මේ පිළිබඳව කිසිවෙකුටත් පවසා නොමැත.
එහෙත් එම සිදුවීමෙන් දින කිහිපයකට පසු, එනම් 2009 සැප්තැම්බර් 16 වැනිදා නැවත වතාවක් මෙම හිමියන් විසින් දරුවාව බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර තිබෙනවා.
ඉන් දැඩි ලෙස කම්පනයට හා බියට පත් දරුවා එදිනම පන්සලෙන් පලාගොස්, ලොකු අම්මාගේ නිවසට ගොස් තමන් මුහුණ දුන් ඛේදනීය තත්ත්වය පවසා ඇති අතර ඉන්පසු ලොකු අම්මා විසින් වහාම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
විමර්ශනවලින් පසු දරුවා 2009 සැප්තැම්බර් 21 වැනිදා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණා.
එහිදී අධිකරණ වෛද්‍යවරයා සාක්ෂි දෙමින් සනාථ කර ඇත්තේ, දරුවාගේ ගුද මාර්ගයේ බරපතල ගණයේ පිළිස්සුම් තුවාලයක් තිබූ බවත්, භෞතික සාධක සහ දරුවා ප්‍රකාශ කළ ඉතිහාසය සැසඳීමේදී මෑත දිනකදී ගුද මාර්ගය හරහා ප්‍රවේශයක් සිදු වී ඇති බව වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි වන බවයි.
මෙම සිදුවීම 2009 වසරේ සිදු වුවද, නීතිපතිවරයා විසින් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇත්තේ වසර 10කට පසු, එනම් 2019 වසරේදීයි.
අනතුරුව මහාධිකරණය විසින් දීර්ඝ නඩු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළේ 2023 වසරේදීයි.
සිදුවීම සිදුවී වසර 13කට පසු දරුවා අධිකරණයේ සාක්ෂි දීමේදී සිදු වූ ඇතැම් සුළු අමතක වීම් පරස්පරතා ලෙස දක්වමින් විත්ති පාර්ශවය නිදහස ලැබීමට උත්සාහ කළද, සිද්ධිය සහ සාක්ෂි දීම අතර දීර්ඝ කාලයක් ගත වීම මත එවැනි ස්වභාවික අමතක වීම් ඇති විය හැකි බව අධිකරණය පිළිගනු ලැබුවා.
එමෙන්ම, විමර්ශන නිලධාරියා අධිකරණයේදී හෙළි කළේ විමර්ශන වකවානුවේදී මෙම විත්තිකාර හිමියන් තමන්ගෙන් ඉල්ලීමක් කරමින්, පැමිණිලි පාර්ශවය සමඟ කතා කර මෙම නඩුව අධිකරණයෙන් පිටතදී සමථයකට, එනම් සමාදාන කර දෙන ලෙස ඉල්ලා සිටි බවයි.
මහාධිකරණය විසින් විත්තිකාර හිමියන් වැරදිකරු කරමින් දුන් තීන්දුව සම්පූර්ණයෙන්ම නිවැරදි බව අභියාචනාධිකරණය පූර්ව නඩු තීන්දු සහ සාක්ෂි සියල්ල දීර්ඝ ලෙස සලකා බලා ප්‍රකාශ කළා.
ඒ අනුව විත්තිකරුගේ අභියාචනය සහමුලින්ම ප්‍රතික්ෂේප වුණා.
ඒ අනුව උඩුවිල සුජාත හිමියන්ට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ දඩ රුපියල් 2,000/- ක දඩයක් (එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිරදඬුවමක් අභියාචනාධිකරණය විසින් ස්ථිර කරනු ලැබුවා.
එමෙන්ම වින්දිත දරුවාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් (එය නොගෙවන්නේ නම් තවත් වසර 2ක සිරදඬුවමක්) අභියාචනාධිකරණය විසින් ස්ථිර කළා.
මෙම තීන්දුවත් සමඟ විත්තිකාර උඩුවිල සුජාත හිමියන්ගේ සිරදඬුවම වහාම ක්‍රියාත්මක වීමට නියමිතයි.
- Source : News19