විදේශගතව සැඟවී සිටින පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වල නිරත සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඇතුළු පොලිස් නිලධාරීන් ඉලක්ක කර අභූත චෝදනා එල්ල කරමින් මඩ ප්රවෘත්ති සහ යූටියුබ් සංවාද යොදාගෙන එම නිලධාරීන්ගේ කීර්ති නාමයට හානි කර පාතාල මෙහෙයුම් අකර්මණ්‍ය කිරීමේ වැඩපිළිවෙළක් පාතාල නායක කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාල අපරාධකරුවන් විසින් ක්‍රියාත්මක කරගෙන යන බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත.
විදේශ ගතව සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් ඇතුළු දරුණු ගණයේ පාතාල නායකයන් කීපදෙනකුම අත්අඩංගුවට ගැනීමේ විමර්ශන මේ වන විටත් ආරම්භ කර තිබෙන නිසා එම විමර්ශන වලට සම්බන්ධ නිලධාරීන් අකර්මණ්‍ය කිරීමට මේ ආකාරයේ ක්‍රියාමාර්ග මොවුන් විසින් ගනිමින් සිටින බවද වාර්තා වෙයි.
විදේශගතව සැඟවී සිටින පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ කාර්යයේ නිරතවී සිටින රොහාන් ඕලුගල මහතාට මේ වන විටත් ජීවිත තර්ජන එල්ල වී තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාටද පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ කීර්ති නාමයට හානිවන ආකාරයේ හඬපටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර, එම හඬපටය ප්‍රචාරය කරන පුද්ගලයා සම්බන්ධයෙන් ද පොලිසියේ අවධානය යොමුවී ඇත.
මෙම හඬපටයේ පාතාල අපරාධකරුවන් වන කංජිපානි ඉම්රාන් සහ අරුන් අතර කෙරෙන සාකච්ඡාවක් අඩංගු වන අතර, එහි රොහාන් ඕලුගල මහතාගේ නමද සඳහන් වෙයි.
කංජිපානි ඉම්රාන් එම හඬපටය ඔස්සේ පවසන්නේ රොහාන් ඕලුගල මහතා පාතාලයෙන් මුදල් ලබා ගෙන බෙලරූස්, කාම්බෝජය සහ මලයාසියාව යන රටවල් වලට ගොස් ඇති බවයි.
එහෙත් රොහාන් ඕලුගල මහතා කිසිම අවස්ථාවක මෙම රටවල්වලට ගොස් නැති බව මේ වනවිට අනාවරණය වී ඇත.
මෙම හඬපටය තනිකරම ඕලුගල මහතාගේ කීර්ති නාමයට හානිකර උසස් නිලධාරීන්ගේද දෝෂ දර්ශනයට ලක් කිරීමේ අරමුණෙන් ප්‍රචාරය කරන එකක් බව හෙළි වී තිබේ.
පසුගියදා ලෝක තරුණ දිනය වෙනුවෙන් පැවති වැඩසටහනකදී මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ ඉස්සර හිටපු පොලිස් නිලධාරීන් රතු වරෙන්තු අරගෙන රට රටවලට ගිහින් පාතාල අපරාධකාරයො අරගෙන එන්නෙ නැතිව ඒ රතු වරෙන්තුවම අරගෙන ආපසු එන බවයි. ඒත් රොහාන් ඕලුගල රතු වරෙන්තු අරන් ගිහින් පාතාල අපරාධකාරයො රොත්ත පිටින් කුදලාගෙන එනවා යැයිද වටගල මහතා එහිදී පැවසීය.