පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු විසින් මුදල් වැය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අද (12) දින පැවසීය.
බස් රථ අනතුරේ විමර්ශන කටයුතු සදහා තමන්ද සහභාගි වූ බවත්, එහිදි බස් රථයේ අයිතිකරු සමග සාකච්ඡා කිරිමේදි බස් රථය ලක්ෂ 55කට මිලදී ගෙන බස් රථයේ මෝස්තර සඳහා රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වැය කර ඇතැයි අනාවරණය වුන බවත් ජාලිය බණ්ඩාර පැවසුවේය.
එමෙන්ම විනෝද චාරිකා සදහා යන පිරිස් වලින් මෝස්තර බස් රථවලට විශාල ඉල්ලුමක් පවතින නිසා තමන් එවැනි විශාල මුදලක් වැය කර බස් රථය විනෝද චාරිකා සඳහා මෝස්තර යොදා අලංකාර කල බවද අයිතිකරු විසින් පැවසූ බවද ජාලිය බණ්ඩාර කියා සිටියේය.
බස් රථයේ මෝස්තර සදහා විශාල මුදලක් වැය කර තිබුණද බස් රථයේ නිසි ලෙස නඩත්තු නොකර තිබූ බවට පරික්ෂණවලදී අනාවරණය වූ බවත්, බස් රථයේ තිරිංග පද්ධතියේ පසුපස හබ් කොටසේ කාලයක් තිස්සේ ග්‍රීස් කාන්දුවක් තිබි ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වූ බවත් ජාලිය බණ්ඩාර කියා සිටියේය.
අධික බෑවුම් සහිත මාර්ගවල තිරිංග පද්ධතිය එක දිගට ක්‍රියාත්මක කරමින් වාහන ධාවනය කිරිමේදි වාහන වල රෝදවල ඩ්‍රම් කොටස රත් වීම නිසා තිරිංග පද්ධතිය අක්‍රීය වන බවද ජාලිය බණ්ඩාර පැවසීය.
සංචාරයක් සදහා යෑමට ප්‍රථම තමන් තෝරා ගන්නා වාහනය ආරක්ෂාව පිලිබදව විශේෂ අවධානය යොමු කර එම වාහනය නිසි ලෙස නඩත්තු කර තිබේද සහ එම වාහනයේ රියදුරාගේ පළ පුරුද්ද පිලිබදව විශේෂ අවධානය යොමු කරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා සංචාරයන් සඳහා යෑමට අදහස් කරන පිරිසගෙන් ඉල්ලා සිටියේය.