උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පැහැදිලි කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය දක්වා වූ සමස්ත අධිකරණ පද්ධතිය පුරා ම නඩු විශාල වශයෙන් ගොඩගැසී තිබීම සහ ඒ සඳහා ගතවන අධික කාලය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව රජය අවබෝධ කරගෙන ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගන්නා පියවර පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම, ඇතැම් අධිකරණ පද්ධති කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම ද ඈත පළාත්වල ජනතාවට අමතර පීඩනයක් බව ඔහු පෙන්වා දුන්නා.
මීට වසර කිහිපයකට පෙර, එනම් 2020 වසරේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංඛ්‍යාව 11 සිට 17 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව 12 සිට 20 දක්වා ද ඉහළ නැංවූ බව අමාත්‍යවරයා සිහිපත් කළා.
එහෙත් එම අවස්ථාවේදී විනිසුරුවරුන්ගේ වයස් සීමාවන් පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වා නොතිබීමේ ගැටලුව දැන් මතුව ඇති බව ඔහු සඳහන් කළා.
මීට අමතරව, වෘත්තිකයන් රට හැර යාම සහ නීති ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මෙවැනි තනතුරු සඳහා පිවිසීමේ අඩුවක් දක්නට ලැබෙන බව ද අමාත්‍යවරයා අනාවරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ,
“ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය දක්වා නඩු ගොඩ ගැහිලා තියෙනවා. ඒ නඩුවලට ගතවන කාලය සහ ජනතාව ඒ ගැන තියෙන පීඩනය පොදුවේ අපිට අවබෝධයක් පවතිනවා. අනිත් පැත්තෙන් අධිකරණ විනිශ්චකාරවරුන්ටත් මේ නඩු කටයුතු ඉක්මන් වීම සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණත් ඒ පිළිබඳව ඔවුන්ටත් ඒ පීඩනය පවටිනවා. අධිකරණය පිළිබඳව විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා මේ නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්.
වගේම අනිත් පැත්තෙන් සමහර අධිකරණ පද්ධතිවල කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතිම නිසාමත් ජනතාවට තවත් පීඩනයක් එල්ල වෙනවා. ඒ වගේම මීට අවුරුදු 5ට හෝ 6ට කලින් 2020 දී 20 වෙනි සංශෝධනය හාරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් ප්‍රමාණය 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනධිකරණයේ විනිශ්චයකාරවරුන් ප්‍රමාණය 12 ඉඳන් 20 දක්වා වැඩි කරා. නමුත් ඒ අවස්ථාවේදී වයස් සීමා පිළිබඳව සැලකිලිමත් වෙලා තිබුණේ නැහැ. මෙන්න මේ සියලු කරුණු අනිත් පැත්තෙන් වෘත්තීයවේශීන් රට හැර යාම සහ වෘත්තියවේදින් මේ ක්ෂේත්‍රවලට පිවිසීමට යම් අඩුපාඩුවක් දකින්න ලැබෙනවා.”
Source : News 19